විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 9ක් දැවී ලකුණු 124ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර බංග්ලාදේශ ඉනිමේ 18 වැනි ඕවරයේදී පිට පිට කඩුලු 2ක් දවාගෙන එල්ල කළ පීඩනය බරපතළ එකක් වුවද, දසුන් ශානකගේ ඊළඟ ඕවරයේදී බංග්ලාදේශය ලකුණු 11ක් සොරා ගත්තේය. තුෂාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු 4ක් බිඳහෙලූ ශ්‍රී ලංකාවේ තෙවැනි පන්දු යවන්නා බවට පත්වූ අතර, මෙයට පෙර නුවන් කුලසේකර හා ලසිත් මාලිංග එම දස්කම දක්වා තිබිණි.
බංග්ලාදේශ මුල් කඩුලු 3 ලකුණු 28කට දවාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පීඩනයක් එල්ල කළද ලිටන් දාස් හා ටව්හිඩ් හිරිඩෝයි සිව්වැනි කඩුල්ලට පන්දු 38කදී ලකුණු 63ක සබඳතාවක් එක්කිරීමෙන් තරගය වෙනස් අතකට පෙරැළී ගියේය. එහෙත් හිරිඩෝයි ලකුණු 40ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට නායක වනිඳු හසරංග සමත්වීමෙන් යළි ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ විය. හිරිඩෝයි පන්දු 20කදී හතරේ පහරක් හා හයේ පහර 4ක් එල්ල කළ අතර, අනෙක් අන්තයේ සිටි ලිටන් දාස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට යළි වනිඳු සමත් වූවේය. ලිටන් පන්දු 38කදී හකරේ 2ක් හා හයේ පහරක් එල්ල කළේය.
ශ්‍රී ලංකා පිල මේ තරගයේදී හොද ආරම්භයක් ලබා ගත්තද අවසානයේ එකා පිට එකා දැවී යැමෙන් ලකුණු වේගය අඩාල විය. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් පන්දු 15ක් තුලදී ලකුණු 21ක් ලබා සිටියදී කුසල් ලකුණු 10කට දැවී ගිය අතර, පැතුම් පන්දු 28කදී හයේ පහරක් හා හතරේ පහර 7ක්සමඟ ලකුණු 47ක් ලැබීය. ධනංජය ද සිල්වා ලකුණු 21ක් හා චරිත් අසලංක ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 100කට කඩුලු 4ක් බිඳවැටී තිබුණද ඉතිරි කඩුලු 5ක් ලකුණු 24කදී බිඳ වැටීම අවාසි සහගත විය.
මේ තරගය ශ්‍රී ලංකාවට වඩා තීරණාත්මක එකක් වූයේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ අත්වූ පරාජය හේතුවෙනි. මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 4ක් ක්‍රීඩා කරන අතර, සුපිරි 8 වටයට එක්වීමට නම් එක් කණ්ඩායමක් තරග 3ක් ජය ගැනීම අවහ්‍ය වේ.
ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ඇ. නජිහමුල් හොසේන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 47
කුසල් මෙන්ඩිස් ප. ටස්කින් අහමඩ් 10
කමිඳු මෙන්ඩිස් ඇ.ටැන්සින් හසන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 04
ධනංජය ද සිල්වා ස්ටම්ප් කළා. ලිටන් ප. රිෂාඩ් හොසේන් 21
චරිත් අසලංක ඇ.ෂකීබ් අල් හසන් ප. රිෂාඩ් හොසේන් 19
වනිඳු හසරංග ඇ. සෞම්‍ය සාකර් ප. රිෂාඩ් හොසේන් 00
ඇන්ජලෝ මැතිව්ස් ඇ. මුෂ්ටෆිසුර් රහ්මාන් ප. ටැන්සින් හසන් 16
දසුන් ශානක ඇ. ලිටන් ප. ටස්කින් අහමඩ් 03
මහීෂ් තීක්ෂණ ඇ.ටැන්සින් හසන් ප. මුෂ්ටෆිසුර් රහ්මාන් 00
මතීෂ පතිරණ නොදැවී 00
නුවන් තුෂාර නොදැවී 00
අතිරේක 04
එකතුව ඕවර් 20කදී කඩුලු 9කට ලකුණු 124
කඩුලු බිද වැටීම: 1- 21, 2-48, 3-70, 4- 100, 5- 100, 6- 109, 7- 115, 8- 117 9- 123
පන්දු යැවීම: ටැන්සින් හසන් 4-0-24-1, ෂකීබ් අල් හසන් 3-0-30- 0, ටස්කින් අහමඩ් 4-0-25-2, මුෂ්ටෆිසුර් රහ්මාන් 4-0-17-3, රිෂාඩ් හොසේන් 4-0-22-3, මහමුදුල්ලා 1-0-4-0
බංග්ලාදේශය
ටැන්සින් හසන් ප. තුෂාර 03
ෂෞම්ය සාකර් ඇ. හසරංග ප. ධනංජය ද සිල්වා 00
ලිටන් දාස් ක.මු. කළා ප. හසරංග 36
නජිමුල් හොසෙන් සැන්ටෝ ඇ. අසලංක ප. තුෂාර 07
ටව්හිඩ් හිරිඩෝයි ක.මු. කළා ප. හසරංග 40
ෂකීබ් අල් හසන් ඇ. තීක්ෂණ ප. පතිරණ 08
මහමුදුල්ලා නොදැවී 16
රිෂාඩ් හොසේන් ප. තුෂාර 01
ටස්කින් අහමඩ් ප. තුෂාර 00
ටැන්සින් හසන් සාකිබ් නොදැවී 01
අතිරේක 13
එකතුව ඕවර් 19කදී කඩුලු 8කට ලකුණු 125
කඩුලු බිඳ වැටීම 1- 1, 2- 6, 3- 28, 4-91, 5-99, 6- 109, 7 113, 8- 113
පන්දු යැවීම: ධනංජය ද සිල්වා 2-0-11-1, නුවන් තුෂාර 4- 0- 18- 4, මහීෂ් තීක්ෂණ 4-0-25-0, වනිඳු හසරංග 4- 0- 32- 2, මතීෂ පතිරණ 4- 0- 27- 1, දසුන් ශානක 1- 0- 11- 0