බංග්ලාදේශ-ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, මහ්මුදුල් හසන් ලකුණු 66ක්, ප්‍රිටොම් කුමාර් ලකුණු 69ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග ලකුණු 106කට කඩුලු 5ක් බිදහෙලීය.

සිය පළමු ඉනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 72ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අගනා ඉනීම් දෙකක් දැක්ගන්නට හැකි වූ අතර ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 188කදී හතරේ පහර 18ක් සමගින් ලකුණු 136ක් රැස්කිරීමට සමත් විය. අනෙක් ශතක ලාභියා බවට පත් වූ නායක සොනාල් දිනූෂ පන්දු 172කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය. අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට පිවිසීමට අපොහොසත් විය.

අවසන් දිනය වූ අද දිනයේ සිය දෙවන ඉනීම ආරම්භ කළ බංගලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 147ක් රැස්කොට සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෂික දුල්ෂාන් සහ කල්හාර සේනාරත්න කඩුලු 4 බැගින් බිඳ හෙළීමට සමත් වූහ. ලකුණු 351 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනයට තරගය අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 69ක් රැස් කොට සිටියහ. එදි සොනාල් දිනූෂ නොදැවී ලකුණු 27 ක් රැස්කිරීමට සමත්වූ අතර දෙරට අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Back To Top