බුවනෙක හා රනිත්මා මෙවරත් බැඩ්මින්ටන් කිරුල රැකගනී.

71 වන ජාතික බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා කොළඹ 7 පිහිටි වෙළද සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. තරගාවලියේ පසුගිය වර ශූරයා හා ශූරිය ලෙසින් කිරුලු දැරූ බුවනෙක හා රනිත්මා මෙවරත් ශූරතාවය දිනාගැනීමට සමත් විය.

තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගැනීමට හිටපු රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩක බුවනෙක ගුණතිලක සමත් විය. ඔහු හමුවේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වූයේ විරේන් නෙත්තසිංහයි. අවසන් මහා තරගයේ ලකුණු පුවරුව සටහන් වූයේ 21ට 16ක් හා 21ට 7ක් ලෙසයි.

කාන්තා කේවල ඉසව්වේ ශූරතාවය දිනාගැනීමට මෙවරත් බද්දේගම Christ Church විද්‍යාලයීය ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සමත් විය. ඇය හමුවේ අවසන් මහා තරගයේදී පරාජයට පත් වූයේ ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩිකා වරංගනා ජයවර්ධනයි. අවසන් මහා තරගයේ ලකුණු සටහන දිස්වූයේ 21ට 10ක් හා 21ට 6ක් ලෙසයි.

කාන්තා යුගල අවසන් මහා තරගයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩිකාවන් වන හසාරා විජේරත්න හා ජනනුවනි ද අල්විස් යන ක්‍රීඩිකාවන් හමුවේ දිලිනි අම්බලන්ගොඩගේ හා රනුමි මානගේ යන ක්‍රීඩිකාවන් පරාජයට පත් විය. පිරිමි යුගල අවසන් මහා තරගයේදී බුවනෙක ගුණතිලක හා විරේන් නෙත්තසිංහ විසින් ලහිරු වීරසිංහ හා මධුක දුලන්ජන පරාජයට පත් කිරීමට සමත් විය.

මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී බුවනෙක ගුණතිලක හා නටාෂා ගුණසේකර විසින් 21ට13, 15ට21 හා 21ට18 ක් ලෙස මධුක දුලන්ජන හා බුත්මි ගලගමගේ පරාජයට පත් කිරීමට සමත් විය. ඒ අනුව මෙම තරගාවලියේ දී කේවල, යුගල හා මිශ්‍ර යුගල යන ඉසව් ත්‍රිත්වයේම ශූරතාවය දිනාගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය.

Back To Top