මහීෂ් තීක්ෂණ, එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්හි ඔහු පෙරමුණ ගත්, පළමු අවස්ථාව මෙයයි.

මහීෂ් තීක්ෂණ මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසු වුණා. නවතම ශ්‍රේණිගත කිරීම් ලේඛනය ඊයේ ප්‍රකාශට පත් කෙරුණා.

ඒ අනුවයි, තීක්ෂණ ලකුණු 680 ක් සමග පළමු ස්ථානයට පැමිණ තිබෙන්නේ. එහි දෙවැනි ස්ථානය, ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමියි. මේ වසරේදී එක්දින තරග 4 කට ක්‍රීඩා කළ තීක්ෂණ, එහිදී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක්. ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු තරගයේදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීම මෙම වසරේ ඔහුගේ හොඳම පන්දු යැවීමයි.
මේ වසරේ වැඩිම කඩුලුලාභීන් අතර සිව් වැනි ස්ථානයේ පසු වන්නේ ද මහීෂ් තීක්ෂණයි. මේ දක්වා එක්දින තරග 52 ක් ක්‍රීඩා කර ඇති තීක්ෂණ, කඩුලු 76 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Back To Top