මැක්ස්වෙල්ගේ පිත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය මාවතට රැගෙන යයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර දෙවන 2020 ජාත්‍යන්තර තරඟය අද දිනයේ දී පැවැත්විණි. තරගාවලියේ පළමු තරග 2කම ජයගත් ඉන්දියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙනි. කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ.

ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කිරීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වාඩ් පන්දු 57කදී හතරේ පහර 13ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 123ක් නොදැවී රැස්කිරීමට සමත් විය. නායක සූර්‍යකුමාර් ලකුණු 39ක් හා තිලක් වර්මා ලකුණු 31කින් ඉන්දීය ඉනීම ශක්තිමත් කළහ. ග්ලෙන් මැක්ස්වෙල්ට එරෙහිව ඉනීමේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 30ක් රැස්කිරීමට ගයික්වාඩ් සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු පිළේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් පන්දු 18කදී ලකුණු 35ක් රැස්කරමින් ආරම්භය වේගවත් කළේය. අද දිනයේදී ඉන්දීය පන්දු යවන්නට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරන්නට ග්ලෙන් මැක්ස්වෙල් වගබලා ගත්තේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය උරුම කර දෙමිනි. කඩුලු 5ක් දැවී ඕස්ට්‍රේලියානු ඉනීම ලකුණු 180ක් ලෙසින් දිස්වූයේ පන්දුවාර 18ක් අවසානවන විටයි.

ඒ අනුව අවසන් පන්දුවාර දෙක තුළ ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට තවත් ලකුණු 43ක් අවශ්‍ය විය. 19 වන පන්දුවාරයේ දී නායකත්වයේ වගකීම ඉටුකළ මැතිව් වේඩ් හා මැක්ස්වෙල් ලකුණු 22ක් අක්ෂාර් පටෙල්ගෙන් සොරාගන්නට සමත් විය. ඒ අනුව අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 21ක් අවශ්‍ය විය. එම පන්දුවාරයේ අවසන් පන්දුවටත් හතරේ පහරක් එල්ල කරමින් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් උරුම කර දෙන්නට ග්ලෙන් මැක්ස්වෙල් සමත් වූයේ සිය හතරවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයද වාර්තා කරමිනි.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස වැඩිම ශතක ලාභියා ලෙසින් රොහිත් ෂර්මා හා සමතැන් ගන්නට මැක්සිට හැකිවිය. පන්දු 48කදී හතරේ හා හයේ පහර 8 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 104ක් රැස්කිරීමට මැක්ස්වෙල් සමත් වද්දී නායක වේඩ්ද ඔහුට අගනා සහයක් ලබාදුන්නේ පන්දු 16කදී නොදැවී ලකුණු 28ක් රැස්කරමිනි. ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙසින් තවමත් පෙරමුණ හිමිකරගැනීමට සමත් ව ඇත්තේ ඉන්දියාවයි.

Back To Top