මීලග ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී උෂාන් තිවංකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් බලාපොරොත්තු වෙනවා

[vc_row][vc_column][vc_column_text]උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස්හි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. මෙහි දී ඔහු ක්‍රිඩා පුහුණුවීම් කටයුතු ද අඛණ්ඩව කරගෙන යන අතර, උෂාන්ගේ ඉදිරි ක්‍රීඩා සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට අද (01) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා Zoom වීඩියෝ තාක්ෂණය  ඔස්සේ  ඔහුව සම්බන්ධ කර ගනු ලැබුවා.

අපි බලාපොරොත්තුවෙන් සිටියා උෂාන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබා දේවි කියා. නමුත් ඔහුගේ වීසා ගැටලුවක් නිසා තරගාවලියට සහභාගී වීමට නොහැකි බව දැනුම් දුන්නා. ඔහුගේ වර්තමාන තත්ත්වය හා ඉදිරි ක්‍රීඩා සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට අපි අද උෂාන්ව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගත්තා යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

එහිදී උෂාන් තිවංක ක්‍රීඩකයාට මීලග ආසියානු මළල ක්‍රිඩා තරගාවලිය සදහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීම සදහා ඔහු හට සහයෝගය ලබා දීමට අවශ්‍ය පසුබිම පිළිබඳව මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගෙන් අමාත්‍යවරයා විමසා සිටියා. එහිදී උෂාන් තිවංක ක්‍රීඩකයා හට මීලග ආසියානු තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමට පරිසාධන මට්ටම කරා ලගා වීමට අවශ්‍ය තරගාවලි හා ඉලක්කයන් ලබා දීමට යෝජනා විය. ඒ සදහා අවශ්‍ය උදව් උපකාර කිරීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් විය.

එම ඉලක්කයන් සැපිරීමෙන් අනතුරුව නැවත උසස් දක්ෂතා සංචිතයට ඇතුලත් වන බවත්, නියමිත දක්ෂතා නිවැරදිව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී උෂාන් තිවංක ක්‍රීඩකයා වෙත දන්වා සිටියා. ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් වියදම් කරන්නේ මහජන මුදල් බවත්, ඒ සදහා වගකීමක් ඇතිව සැම දෙනාම වැඩ කටයුතු සිදු කළ යුතු බවත් මෙම සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. මේ මොහොතේ රටේ පවතින ආර්ථික අභියොග හමුවේ වුව ද ක්‍රීඩකයින්ගේ හා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හැකි උපරිම අයුරින් කටයුතු කරන බව අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා හා යෞවන කටයතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික මළල ක්‍රීඩා සම්මේලනයේ සභාපති මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ද ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මියද එක් වූහ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top