[vc_row][vc_column][vc_column_text]ක්රිකට් ක්රීඩාවේ මුලික සිද්ධාන්ථ වලට ගරු කිරීම සහ තණ තිල්ලේ දෙකෙළවරෙහි පිතිකරුවන් අවබෝධයෙන් යුතුව ලකුණු කරා දුවයාම තමා පිතිකරුවකු ලෙස සාර්ථක වීමට ප්රධාන හේතූන් වූ බව ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සංගීත් කුරේ ප්රකාශ කරයි.
ආරම්භක පිතිකරුවකු ලෙස බොහෝ දුරට තමා සාර්ථක වී ඇතැයි පවසන සංගීත් කුරේ ආරම්භක පිතිකරුවකු ලෙස පමණක් නොව මැදපෙළ පිතිකරුවකු ලෙසපිටියට පිවිසියත් තමා නිතරම උත්සහාගන්නේ එම අවස්ථාවේ තරගයේ පවතින ස්වභාවය හොදින් තේරුම් ගෙන පන්දුවට පහරදීම යැයිද කියයි.
නොබෝදා නිමාවට පත්වු2022 මේජර් තුන් දින තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු මෙම පිතිකරුවා දැන් පැවැත්වෙන නැෂනල් සුපර්ලීග් සිව්දින තරගාවලියේදී දෙවැනි සති අන්තයේ පැවැති ගෝල් – කැන්ඩි තරගයේ මුල් ඉනිමේදී ලකුණු 132 ක්ද දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 75ක්ද ලබා තම කණ්ඩායමේ කඩුලු දහයක පහසු ජයග්රහණයට මුල් විණි.
2022 වසරේ මේජර් තුන්දින තරගාවලියේ දී කෝල්ට්ස් කණ්ඩායමට නායකත්වය දුන් සංගීත් කුරේ ප්රබල පිතිකරුවකු වීමට යහපත් මානසිකත්වය බෙහෙවින් බලපාන බවද කිවේය. මේ සදහා ඔහුට සිය ඥාති සහෝදරයකු මඟ පෙන්වූ බවද සංගීත් සදහන් කර සිටියි.
“මගේ ඥාති සහෝදරයෙකු ඉන්නව පිහිණුම් ක්රීඩාව කරන. ඔහු මට කියලා දුන්න දෙයක් තමයි තරගයක නියැළෙනකොට මනස නිරවුල්ව හරි ඒකාග්රතාවයකින් පවත්වාගෙන යෑම ඉතා වැදගත් වන බව. එය මා මගේ ක්රීඩාවට යොදා ගත්තා. එතැනදි මට තේරුණා මගේ පිතිකරණයට ඒක ගොඩක් ඉවහල් වුණා කියලා” යැයි සංගීත් සඳහන් කර සිටියේය.
පාකිස්තානු පිලේ නායක බාබර් අසාම් මෙන්ම ඉන්දියාවේ සුපිරි පිතිකරු විරාට් කෝලි සංගීත්ගේ ක්රිකට් දිවියේ ප්රියතම ක්රිකට් තරු යුගල වේ. යුද හමුදාවේ සාජන් මේජර්වරයකු වන සංගීත්ගේ පියා හරහා ක්රිකට් ක්රීඩාවට අත්පොත් තබන විට සංගීත් යන්තම් වයස අවුරුදු 5 ඉක්මවූවෙක් විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ඉගෙනුම ලබා ඇති සංගීත් පාසලෙන් නික්ම යෑමෙන් පසු මුවර්ස් ක්රීඩා සමාජය සම්බන්ධවී තිබේ.
රෂාන් පීරිස්, සචිත් සිල්වා මෙන්ම පසන් වනසිංහ සිය පාසල් වියේ පුහුනුකරුවන් බවට කටයුතු කළ බව පවසන සංගීත් ජාතික මට්ටමින් පුහුණුකරුවන් රැසක්ම තමන්ට මේ වන විට සහයෝගය ලබා දෙන බවද පවසයි . වත්මන් ක්රීඩකයන් අතුරින් ඇන්ජ්ලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න අනුගමනය කිරීමට කැමති බව පවසන සංගීත් කුරේ දැනට ශ්රී ලංකා “ඒ” සහ නැගී එන කණ්ඩායම් නියෝජනය කර ඇති තමාගේ මීළග අරමුණ ජාතික කණ්ඩායමට එක්ව දස්කම් දැක්වීම බවද සඳහන් කර සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]