යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ බංග්ලාදේශයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැති 13 වැනි වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින්. මෙම තරගාවලියේ ශුරතාව හිමි කර ගත්තේ බංග්ලාදේශයයි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයෙ ඔවුන් ලෝක කුසලානයක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. අවසන් තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වුණේ සිව්වරක් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය හිමි කර ගත් ඉන්දීය කණ්ඩායමයි.

අවසන් තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ඔවුන් පන්දු වාර 47 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 177 ක්. යශස්වී ජයිස්වාල් ලකුණු 88 ක් රැස් කළා. තිලක් වර්මා ලකුණු 38 ක් ලබා ගත් අතර දුර්වි චාන්ද්දුරේල් ලකුණු 22 යි. පන්දු යැවීමේදී ෂරිෆුල් ඉස්ලාම් සහ අවිශේක් දාස් කඩුලු 3 බැගින් බිද හෙලුවා. තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 178 ක්. බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 85 කට කඩුලු 5 ක්දැවී තිබියදී තම කණ්ඩායමේ ජයග්‍රාහී මාවත හෙලි කර දුන්නේ නායක අක්බාර් අලී.

41 වැනි පන්දු වාරයේදී වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කළ අතර ඒ වන වි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස් කර ගෙන සිටියා. අනතුරුව යළි තරගය ආරම්භ වීමෙන් පසුව ඔවුන්ට පන්දු වාර 46 කදී හිමිවූ ඉලක්කය ලකුණු 170 ක්. ඔවුන් පන්දු වාර 42 යි පන්දු 1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී සිමා පසු කිරීමට සමත් වුණා. ඒ අනුව බංග්ලාදේශය තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කළේ ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පර්වීස් හොසේන් ලකුණු 47 ක් රැස් කළා. නායක අක්බාර් අලී නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 3 ක් බිද හෙලුවා. තරගයේ වීරයා බංග්ලාදේශ කණ්ඩායමේ නායක අක්බාර් අලී. ඉන්දීය කණ්ඩායමේ යශස්වී ජයිස්වාල් තරගාවලියේ වීරයායි.

ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ නවීඩ් නවාස් මහතායි.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top