යොවුන් ස්කොෂ් ශූරයාට මිලියන 1.5 ක අනුග්‍රාහකත්වයක්.

ආසියානු කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැඳි සිටින, අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරයා වූ නෙවිදු ලක්මන් ක්‍රීඩකයා වෙත විදුලංක පෞද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී ඇත.

ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීමට සහ ඔහුගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමටත් ඉදිරි PSA සහ ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වීම සදහාත් මෙම අනුග්‍රාහකත්වය උපයෝගී වනු ඇත.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් රුපියල් මිලියන 1.5 ක අනුග්‍රාහක චෙක්පත දෙසැම්බර් 13 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේ දී නෙවිදු ලක්මන් ක්‍රීඩකයා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට Vidullanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා ස්කොෂ් විධායක කමිටු සාමාජික රියාස් සංගානි මහතා සහ ශ්‍රී ලංකා ස්කොෂ් හි උප සභාපති රොහන්ත පීරිස් මහතා සහභාගී විය.

නෙවිඳු පසුගිය සතියේ පැවති 43 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලියේදී 3 වැනි ස්ථානයට පත් වූ අතර PSA ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 320 වැනි ස්ථානයට පත්ව ඇත.

Back To Top