[vc_row][vc_column][vc_column_text]
ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ පළමු තරඟයම ජයග්‍රහණයකින් ආරම්භ කරමින් තරඟාවලියේ මීළඟ කොටස වෙතට අවතීර්ණ වුණා. මෙහිදී ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කළේ ලකුණු 172 ක ඉලක්කයක් සාර්ථකව හඹා යෑම සිදු කරමිනි.
ශ්‍රී ලංකාව වෙතට ජයග්‍රහණය ගෙන ඒමේ නියමුවා ලෙසින් කටයුතු කළේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි චරිත් අසලංකය. ඔහු විසින් පන්දු 49 කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී ලකුණු 80ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන එමිනුයි. එම දක්ෂතාවය ඔහුව තරඟයේ වීරයා බවටත් පත් කළා. තරඟයෙන් අනතුරුව චරිත් අසලංක, ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් පහත පරිදි තම අදහස් එක් කළා,
තරඟයේ වීරයා චරිත් අසලංක
“ශ්‍රී ලංකාව මෙම තරඟයේ ජයග්‍රහණය කරා මෙහෙයවීමට ලැබීම සම්බන්ධයෙන් ඇත්තටම හුඟක් සතුටුයි. මේ තණතීරුව පිතිකරණය සඳහා ඉතාම යෝග්‍ය තත්ත්වයක පැවතුණා. මම මගේ පහරවල් එල්ල කරන්නයි උත්සාහ කළේ. ඇත්තටම භානුක රාජපක්ෂ තමයි තරඟය වෙනස් කළේ. ඔහු විශිෂ්ට පහරවල් කිහිපයක් එල්ල කළා. මේ රිද්මය දිගටම පවත්වාගෙන රට වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කිරීමයි මගේ අරමුණ”
ජයග්‍රාහී ශ්‍රී ලංකා නායක දසුන් ශානක
“එය හඹායෑමට පහසු ඉලක්කයක් නොවෙයි. හතරේ සහ හයේ පහර මත තරඟය රැඳී පැවතුණා. පිතිකරුවන් තණතීරුවේ ස්ථාවර වුණාට පස්සේ ඕනෑම ඉලක්කයක් හඹා යන්න පුලුවන්. පළමු තරඟයම ජයග්‍රහණය කිරීමට ලැබීම ඇත්තටම ඉතා වැදගත්. ඔවුන් හොඳින් පන්දුවට පහර දුන්නා. භානුක සහ චරිත් ක්‍රීඩා කළ ඉනිම් ද්විත්වයම සුපිරි ඉනිම් දෙකක්.”
පරාජිත නායක මහමදුල්ලා රියාද්
“පිතිකරුවන් තමන්ගේ කාර්යභාරයක් හොඳින් ඉටු කළා. ලිටන් ඩාස් සහ නයිම් ශා හොඳ ආරම්භයක් ලබා දුන්නා. නයිම් සහ මුෂ්පිකර් හොඳ ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළා. අපි අවස්ථා කිහිපයක්ම මගහැරියා. එම වැරදි මීළඟ තරඟයේදී නිවැරදියි කරගන්නට බලාපොරොත්තු වෙනවා. අපි අතිරේක දඟ පන්දු යවන්නෙක් එක්ක ක්‍රීඩා කරන්න ආපු එක ඇත්තටම හොඳ දෙයක් කියලා හිතෙනවා. මගහැරෙනු අවස්ථා ලබා ගත්තා නම් තරඟය වෙනස් කරගන්නට තිබුණා කියලා මම හිතනවා.”
[/vc_column_text][/vc_column][/vc_row]