වර්තමානයේ කෙතරම් රසිකයන් සිටියත්, මා දුටු පළමු ක්‍රිකට් රසිකයා ඔහුයි – රෝහිත් ෂර්මා

ලෝක ක්‍රිකට් පිටිය තුළ දක්නට ලැබුණු විශිෂ්ටතම තරග දිරිගන්වන්නා පසුගියදා ජීවන රගමඩලින් බැස ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමින්. ශ්‍රී ලංකා තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක රෝහිත් ෂර්මා, පර්සි අබේසේකර මහතා පිළිබඳව දැක්වූ අදහසයි මේ.

ආසියානු කුසලානය අතරතුර ශ්‍රී ලංකාවේදී ඔහුව හමුවීමට අවස්ථාවක් හිමිකරගැනීමට මම වාසනාවන්ත වුණා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම රසිකයෙක්. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ වුණත්, ඒ තරම් අව්‍යාජ විදියට කණ්ඩායමට සහය දක්වන මට හමු වූ පළමු රසිකයා ඔහුයි. තමන්ගේ පැත්තෙන් කණ්ඩායමට සහ ක්‍රීඩකයන්ට ඔහු දක්වන සහයෝගය දකින්නත් සතුටුයි.

2005 වසරේ 19න් පහළ ලෝක කුසලානය සඳහා මම මුලින්ම ලංකාවට යන විට ඔහු එහි සිටියා. නමුත් මම කුඩා ළමයෙක්, ක්‍රිකට් පිටියෙන් පිටත දේවල් ක්‍රියාත්මක වන ආකාරය ගැන මට අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා මම වැඩිය ඒ දේට යොමු වුණේ නැහැ.

නමුත් මම 2008 පළමු වතාවට ඉන්දීය කණ්ඩායම සමඟ ගිය විට, මම ඔහුව පළමු වරට දැක්කා. ඔහු කෙතරම් උද්යෝගිමත් පුදගලයෙක්ද යන්න මම දැක්කා. ඔහුගේ පවුල, ඔහුගේ පුතා, ඔහුගේ මුනුපුරා හමුවීමට මට වාසනාව ලැබුණා. ඔවුන්ගේ පවුලේ අය ඉතාම හොදයි. මම මගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ එහෙ ගියා.

එය දුක්මුසු ආකාරයේ නැතිවීමක්. ක්‍රිකට් වලට ලොකු පාඩුවක්, මොකද මගේ දැක්මට අනුව එවක ක්‍රිකට් පිටියේ අංක එකේ තරග දිරිගන්වන්නා ඔහුයි. පැහැදිලිවම, වර්තමානයේ කෙතරම් රසිකයන් සිටියත්, මා දුටු පළමු ක්‍රිකට් රසිකයා ඔහුය. ඒක අපි හැමෝටම දුක හිතෙන මොහොතක්.

Back To Top