වර්තමාන ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් මැයි 04 වැනිදා හමුවෙති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට කීර්තියක් අත්කර දුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ලබන මැයි මස 04 වැනි දින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

සමාජ සත්කාරක (චැරිටි) ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ලැබෙන සියළුම මුදල්  සමාජ සත්කාරක අරමුදල් වෙනුවෙන් යොමු කෙරෙනු ලබන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කර සිටි මහාචාර්යවරයා, එම තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තමන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ලබන අරවින් ද සිල්වා මහතාටද ආරාධනා කර සිටියේය. ඒ මහතා එසේ සඳහන් කරන විට අරවින්ද ද සිල්වා මහතා ඊට යාබද පුටුවේ අසුන් ගනිමින් එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

හිටපු ටෙස්ට් නායකයකු වන ටී. එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඉකුත්දා ඉන්දියාවේදී නිමාවට පත් වුණු ‘රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස්’ තරගාවලියට ක්‍රීඩා කරමින් බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවූ අතර එහිදී  අනුශූරතාවයෙන්ද පිදුම් ලැබීම එම තරගාවලිය වැඩි දුරටත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳ ගැනීමට හේතුකාරකයක් වීය.

රූපවාහිනිය හරහා සජීවී විකාශනයක්ද කිරීමට නියමිත මෙම තරගය, කොරෝනා වසංගතයෙන් පසු ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගිත්වයෙන් මෙරටදී පවත්වනු ලබන පළමු ක්‍රිකට් තරගය ලෙසින් බොහෝ දුරට මෙම තරගාවලිය සටහන් වනු ඇත. මීට එල්.පී.එල්. සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාර ශ්‍රී ලංකාවේ පවත්වා ඇතත් ඒ කිසිවක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි නොවීය. කෙසේ වෙතත් මෙම තරගාවලිය ක්‍රීඩා ලෝලීන්ට විවෘත වනවාද නැද්ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරග සඳහා වර්තමාන ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙකුම ක්‍රීඩා කිරීමට නියමිත අතර ඉතිරි සියල්ල ශ්‍රී ලංකා ‘ඒ’,  නැගී එන සහ සංවර්ධිත සංචිත වල මෙන්ම පාසල් මට්ටමේ දක්ෂතා ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

“නැෂනල් ටීම් එක කියලා නොවෙයි. එහෙම කියන්නේ නෑ අපි. ඒ කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙක් අරගෙන තවත් සංචිත පසුවන නවක ක්‍රීඩකයින් යොදා ගනිමින් මේ තරගාවලිය සඳහා වන වර්තමාන කණ්ඩායම සකස් වෙනවා” යි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක නිලධාරී සහ වත්මන් කලමනාකරණ කමිටුවේ ලෙකම් ඈෂ්ලී ද සිල්වා මහතා කරුණු දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වෙන තෙක් එහි එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අර්ජුන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කලමනාකරණ කමිටුවක් පත්කරනු ලැබූ අතර, එම කමිටුව මේ පිළිබඳව සියලු අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top