වසීම් රසීක් ශ්‍රී ලංකාවට ඔසවා තබයි

[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය අද කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වුණා. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිනක් කල් තැබුණු තරගාවලියේ සමාරම්භක තරගය පැවතියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම අතරයි.

තරගයේ හත්වන විනාඩියේදී මාලදිවයින් කණ්ඩායම නායක අක්‍රම් ගානි පළමු ගෝලය වාර්තා කළා. ඉන් විනාඩි දෙකකට පසුව අලි ෆසීර් තරගයේ දෙවන ගෝලය වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින්.

නැවතත් 33 වන විනාඩියේ ක්‍රියාත්මක වූ මාලදිවයින් ක්‍රීඩක ඊබ්‍රාහිම් හුසේන් තම කණ්ඩායම වෙනුවෙන් තුන්වන් ගෝලය රැස්කළේ තරගය සම්පූර්ණයෙන්ම තම කණ්ඩායම දෙසට හරවා ගනිමින්.
තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට මාලදිවයින පෙරමුණේ පසුවුනේ ගෝල 3-0 ක් ලෙසයි.

දෙවන අර්ධයේ යළිත් ආක්‍රමණශීලී තරග රටාව ක්‍රියාත්මක කළ මාලදිවයින් කණ්ඩායම තරගයේ 58වන විනාඩියේදී තම සිව් වන ගෝලය ද වාර්තා කළා. ඒ ඊබ්‍රාහිම් අයිසම් වාර්තා කළ ගෝලය ද සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ගෝලය වාර්තා කළේ තරගයේ 63 විනාඩියේදී යි. එම ගෝලය වාර්තා කිරීමට වසීම් රසීක් සමත්වුණා. ඉන් නොනවතින රසීක් තරගයේ 67 වන විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළේ ගෝල තත්වය 4-2ක් බවට පත්කරමින්.

තරගයේ 73 වන විනාඩියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තම තුන් වන ගෝලය ද වාර්තා කළේ යළි තරගයට අවතීර්ණ වෙමින්. එම ගෝලය වාර්තා කිරීමට වසීම් රසීක් සමත් වීමත් සමඟ ඔහු මෙම තරගයේ ගෝල ත්‍රිත්වයක් ද වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 90 වන විනාඩියේදී වසීම් රසීක් තම සිව්වන ගෝලය ද වාර්තා කළේ ගෝල 4- 4 ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කරමින්.

තරගයේ වීරයා ලෙස වසීම් රසීක් සම්මාන දිනා ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top