ශකිබ්ගේ ක්‍රියාව පිළිබඳව බංගලාදේශ වේගපන්දු පුහුණුකරුගේ අප්‍රසාදය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල Time-out ක්‍රමවේදයට අනුව දවා ගැනීමට බංගලාදේශ නායක ශකිබ් අල් හසන් කටයුතු කළේය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අවස්ථාවේ ඔහුගේ හිස් ආවරණයේ පටිය ගැළවී යාමත් සමඟින් නව හිස් ආවරණයක් ලබා ගැනීමට කටයුතු කළේය. එම අවස්ථාවේදී ශකිබ් අල් හසන් විසින් මැතිව්ස්ට පන්දුවට පහර දීමට සූදානම් වීම සඳහා තිබූ මිනිත්තු දෙකක කාලය අවසන් බව පවසමින් මැතිව්ස්ගේ කඩුල්ල ඉල්ලා සිටි අතර පිටියේ විනිසුරුවන් විසින් එම ඉල්ලීම ඉවත් කර ගන්නේ දැයි විමසූ විය ඔහු එම කඩුල්ල අවශ්‍යම බව කියා සිටියේ ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් බංගලාදේශ කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් කියා සිටියේ එම අවස්ථාවේ දී තමන්ට පිටිය මැදට ගොස් බංගලාදේශ නායකයාගේ ඉල්ලීම නතර කිරීමට තරම් සිතුණු බවයි. එලෙසම Time out ක්‍රමවේදය සඳහා ක්‍රිකට් ලෝකයේ කිසිදු ඉඩක් නොමැති බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පන්දුයවන්නාගේ අන්තයේ සිටි විනිසුරුවරයා මැතිව්ස්ට පිටියෙන් ඉවත්ව යන ලෙස සංඥා කළ පසුව පිටියෙන් ඉවත්ගිය මැතිව්ස් තම අත තිබුණ හිස් ආවරණය වෙළඳ දැන්වීම් පුවරුවක් වෙත දමා ගසනු දුටු තමන් විමතියට පත් වූ බවයි.

Back To Top