ශ්‍රි ලංකා යෞවනයන් පුහුණු තරගයේදී විශිෂ්ට දස්කම් අතරට

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් යොවුන් කණ්ඩායම අතර පැවති පුහුණු එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ කඩුලු 4කින් එම තරගය ජයග්‍රහණය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් පන්දුවාර 48 එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 281ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී ලයන්ස් යොවුන් ක්‍රීඩක BJ වෝනික්ස් පන්දු 89කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 93ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා යොවුන් පිළ වෙනුවෙන් ප්‍රවීන් මනීෂ ලකුණු 48ට කඩුලු 4ක් ද දුමිදු සෙව්මිණ ලකුණු 30ට කඩුලු 3ක් ද දවාගැනීමට සමත් වුණා. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිළේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගුනා. එහිදී තිසර ඒකනායක ලකුණු 31ක් රැස්කළා.

අංක තුන පිතිකරු ගයන වීරසිංහ ලකුණු 42ක් රැස්කරද්දී ආරම්භක පිතිකරු පුලිදු පෙරේරාගේ පිත්තෙන් දිනයේ එකම ශතකය වාර්තා වුණා. ඔහු පන්දු 85කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමගින් අගනා ලකුණු 107ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නායක දිනුර කලුපහනගේ පිත්තෙන් වේගවත් ප්‍රහාරයක් දියත් වුණා.

දිනුර පන්දු 31කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 51ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ කඩුලු 6ක් දැවී තිබියදී ලකුණු 282ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

එංගලන්ත ලයන්ස් 281 all out
ප්‍රවීන් මනීෂ 48/4
දුමිදු සෙව්මිණ 30/3

ශ්‍රී ලංකා අවු 19 – 282 /6 (42 overs)
පුලිදු පෙරේරා 107
දිනුර කලුපහන 51
ගයන වීරසිංහ 42

Back To Top