ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති පළමුව ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජයගත් පළමු ටෙස්ට් තරඟය මෙයයි.

තරඟයේ පළමු ඉනිමට දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 191 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 42 ක් පමණයි.අනතුරුව දකුණු අප්‍රිකාව ලකුණු 366 ක් ලබා සිටියදී තම දෙවැනි ඉනිම අත්හිටවනු ලැබුවා.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජයගැනීමට හිමිවූ ඉලක්කය ලකුණු පන්සිය දහසයක්.ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ දිනේෂ් චන්දිමාල්. ඔහු තම තිස් වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග ලකුණු 83 රැස්කළා.
නායක ධනංජය ද සිල්වා දහ අට වැනි ටෙස්ට් අර්ධ ශතකය සමඟ ලබාගත් ලකුණු සංඛ්‍යාව 59 ක්.කුසල් මෙන්ඩිස් ලකුණු 48 යි. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී මාකෝ ජැන්සන් කඩුලු හතරක් බිඳ හෙළුවා.ඔහු මෙම තරගයේ ඉනිම දෙකේදී දවා ගත් කඩුලු සංඛ්‍යාව 11 ක්. මෙම ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියා.
ශ්‍රී ලංකාව එහි පස් වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන පස් වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Back To Top