ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා.

තරගය පැවැත්වෙන්නේ, පෝට් එලිසබෙත් හිදී. ඊයේ තැන්වැනි දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස්. පළමු කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 කට දැවී ගියා. ඔහු මෙම තරගයේදී ලකුණු 8000 සීමාව පසු කළ අතර එම කඩඉමට ළඟා වූ තුන්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ඔහුයි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 48 යි. ශ්‍රී ලංකා ඉනිමේ 89 වැනි පන්දු වාරයේදී කඩුලු 3 ක් දැවී යාම විශේෂත්වයක්.

ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ලහිරු කුමාර එලෙස දැවී ගියේ ඩෑන් පෙටර්සන්ගේ පන්දුවාරයක් හමුවේයි. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328 කට සීමා වුණා. පන්දු යැවීමේදී ඩෑන් පෙටර්සන් කඩුලු 5 ක් දවා ගත්තා.

දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 358 ක් රැස් කළා.

ඔවුන් තම දෙවැනි ඉනිම ආරම්භ ක‍ළේ පළමු ඉනිමේදි ශ්‍රි ලංකාවට වඩා ලබාගත් ලකුණු 30 ක් ඉදිරියෙන් සිටිමින්. දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ එයිඩ්න් මැක්‍රම් සහ ටෝනි ඩි සොයිසා.

ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 55 ක් වනවිට ටෝනි ඩී සොයිසා ලකුණු 19 කට දැවී ගියා. එයිඩ්න් මැක්‍රම් ලකුණු 55 යි. ඊයේ දිනය නිමා වනවිට නොදැවි පන්දුවට පහරදෙමින් සිටි නායක ටෙම්බා බවුමා ලකුණු 48 ක් ලබා සිටියා.

ට්‍රිස්ටන්ස් ස්ටබ්ස් ලකුණු 36 යි. දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් මේ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායමට වඩා ලකුණු 221 ක් ඉදිරියෙන් පසුවනවා.

Back To Top