ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයට

‘හොංකොං සික්සස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයටයි, අද සහභාගී වුණේ. ඒ, නේපාල කණ්ඩායම සමග. හොංකොංහි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 6 ඇතුළත කඩුලු 2 කට ලකුණු 123 ක් රැස් කළා. සඳුන් වීරක්කොඩි ලකුණු 50 ක් ලබා ගත් අතර, නායක ලහිරු මධුශංක නොදැවී ලකුණු 31 යි.

පිළිතුරු ලෙස නේපාලය, පන්දුවාර 5 කදී සියලු‍ ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 83 ක් පමණයි. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, ලකුණු 40 කින්. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය සුදුසුකම් ලබා තිබෙනවා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතරයි.

Back To Top