ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්.

ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.

මූලික වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මැලේසියානු යොවුන් කණ්ඩායම ලකුණු 139කින් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81කින් පරාජයට පත් කරමින් සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.

එහිදී මුහුණ දුන් පලමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 60කින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා යෞවනියන්ටට සිදුවුණා. අද දිනයේ තරගයද වර්ෂාවට සේදී යාම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වී ගියා.

ශ්‍රී ලංකාව මේ වන විට සුපිරි කණ්ඩායම් හය වටයේ පළමු කොටසේ ප්‍රසාද ලකුණු සටහනට අනුව තෙවන තැන හිමිකරගෙන ඇත්තේ ලකුණු 3ක් සමගින්.

නමුත් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මේ වන විටත් ප්‍රසාද ලකුණු 6බැගින් රැස්කොට තිබීම හමුවේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදුව තිබෙනවා.

Back To Top