ශ්‍රී ලංකාවට අද තරගය තීරණාත්මකයි !

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අතිශය තීරණාත්මක මූලික වටයේ තරඟයක් අද දිනයේදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ මෙය පරාජය වීම තුළින් ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන් නිළ වශයෙන් නිමා වන හේතුවෙනි. එම නිසා මෙය ශ්‍රී ලංකාව දෙසින් ජයග්‍රහණය කළ යුතුම තරඟයක් වනවා. අනෙක් පසින් තරඟය පරාජයට පත් වීම එංගලන්තයට එතරම් බලපෑමක් නොවූවත් ජයග්‍රහණය තුළින් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථිරම ස්ථානයක් එංගලන්තයට වෙන් වනවා ඇති, මේ නිසාවෙන් තරඟය ආරම්භයට පෙර වැදගත් කරුණු කිහිපයක් පවතිනවා.

පිතිකරණ අංශය

පිතිකරණ අංශය ගත් විට මෑත කාලීන එංගලන්ත පිතිකරුවන් සියල්ලම පාහේ අතිශය තර්ජනාත්මක පිතිකරුවන් ලෙසින් හැඳින්වීම වරදක් නොවෙයි. ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි, ජොස් බට්ලර් මෙන්ම ලොව අංක 1 විස්සයි විස්ස පිතිකරු වන ඩේවිඩ් මලාන්, ජොනී බෙයාස්ට්‍රෝ, වර්තමානයේදී යම්කිසි පසුබෑමකට ලක්ව සිටියත් නායක ඔයින් මෝගන්, ලියම් ලිවින්ග්ස්ටන්, මොයින් අලී යන නම් දැරූ මේ සියලුම පිතිකරුවන් තර්ජණයකි. මීට අමතරව ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් ජෝර්ඩන් යන ක්‍රීඩයන් ද තුන් ඉරියව්වෙන්ම දස්කම් පායි. මේ හේතුවෙන් පැහැදිලිවම එංගලන්ත පිතිකරණ බලඇණිය නවතාලීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුයි.

මෙහි වාසිය තිබෙන්නේ සාජා තණතීරුවේයි. සාජා තණතීරුව පසුගිය තරඟ වලදී ඉතාමත්ම මන්දගාමී ලෙසින් හැසිරුණ බව නිරීක්ෂණය කළ හැකි වනවා. මෙම තණතීරුවේ මෙතෙක් ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 171 හඹා ගිය තරඟය හැරෙන්නට අනිත් සියලුම තරඟ අඩු ලකුණු වාර්තා කළ තරඟ ලෙසින් සටහන් වුණා. අනෙක් වාසිය වන්නේ ශ්‍රී ලංකාව මේ වන විට සාජා හී දි ලෝක කුසලානයේ තරඟ 3ක් ක්‍රීඩා කොට තිබීමත් එංගලන්තය අද සාජා පිටියට මුළින්ම පිවිසීමත් ය. මේ කාරණාව නිසාවෙන් සාජා තණතීරුවේ පෙර වැරදි නිවැරදි කර ගනිමින් පන්දු යැවීම මගින් එංගලන්ත පිතිකරණ බලඇණියට තර්ජනයක් එල්ල කල හැකි වනු ඇති,

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය දෙස අවධානය යොමු කරද්දී සෑම තරඟයකදීම එක් පිතිකරුවෙක් ඉදිරියට පැමිණ ඉනිම ගොඩ නගනු දක්නට ලැබෙනවා. අයර්ලන්ත තරඟයේදී වනිඳු හසරංග, බංග්ලාදේශ තරඟයේදී චරිත් අසලංක, දකුණු අප්‍රිකා තරඟයේදී පැතුම් නිස්සංක මේ ආදී වශයෙනුයි. අවශ්‍ය වන්නේ එම පිතිකරුවන් සමගින් මැදපෙළ තවත් පිතිකරුවන් දෙදෙනෙක්වත් අවශ්‍ය පරිදි ලකුණු අතරට පැමිණීමයි. බංග්ලාදේශ තරඟයේදී එය සිදුවූ නිසාවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගමන් කළ අතම ඉන් පසුව එය විශේෂ ලෙසින් දක්නට ලැබුනේ නෑ.

විශේෂයෙන්ම දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු තමන්ගේ වගකීම ඉටු කිරීමයි. මේ දක්වා සුපිරි 12 වටයේ එය නොලැබීම ශ්‍රී ලංකාව දෙසින් විශාල පීඩනයක් බවට පත්ව තිබෙනවා. අනෙක් කාරණය වන්නේ ආරම්භක පිතිකරුවන් දෙපළ ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමයි. එයද තරඟාවලිය පුරාවටම නොලැබුණු දෙයක්. එංගලන්තය සමගින් හැකි සියලුම වාසි ලබාගත යුතු නිසාවෙන් මේ සම්බන්ධව අවධානය යොමුකළ යුතුම වනවා.

පන්දු යැවීමේ අංශය

දෙපිළම මෙම තරඟයේදී දඟ පන්දු යවන්නන් ප්‍රධාන කරන ඇති බව විශ්වාස කළ හැකියි. ශ්‍රී ලංකාව දෙසින් වනිඳු හසරංග මෙන්ම එංගලන්තය දෙසින් අදිල් රශීඩ් ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ භූමිකාවට පණ පොවනු ඇත. ඒ වගේම ශ්‍රී ලංකාව දෙසින් මහීශ් තීක්ෂණ මෙන්ම එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් සහ මොයින් අලී යන ක්‍රීඩකයන් දෙපළද දඟ පන්දු යවන්නන් ලෙසින් තම දායකත්වය ලබා දීමට නියමිත වනවා. ශ්‍රී ලංකාව මෙම තරඟයේදී වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් ජෝර්ඩන් කෙරෙහිය. නව පන්දුවෙන් ක්‍රිස් වෝක්ස් මෙන්ම අවසන් පන්දුවාර වලදී ක්‍රිස් ජෝඩන් හොඳින් පන්දු යවමින් සිටිනවා.

කෙසේ වෙතත් තරඟය වෙනස් කිරීමට හැකි වේග පන්දු යවන්නන්ද ශ්‍රී ලංකාව සතු වනවා. දසුන් ශානක සහ චාමික කරුණාරත්න ගෙන් සාජා හි මන්දගාමී තණතීරුවේදී ප්‍රයෝජනයක් ගත හැකි බවට විශ්වාස කළ හැකියි. එංගලන්තයේ වේග පන්දු යවන්නන් අතරින් වඩාත් හොඳ වේගයක් සහිතව පන්දු යවන්නේ ටිමාල් මිල්ස් ය. ඔහු පසුගිය ඕස්ට්‍රේලියා තරඟයේදී ප්‍රහාරයකට ලක් වූ නිසාම මෙම තරඟයේදීත් ඔහුට විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට පෙර ශ්‍රී ලංකාව මිල්ස් ගේ පන්දු වලට ප්‍රවේශමෙන් පහර දිය යුතුයි.

සාජා තණතීරුව

පෙර සඳහන් කළ පරිදිම සාජා තණතීරුව මන්දගාමී ලෙසින් හැසිරෙන බවට විශ්වාස කළ හැකියි. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දුන්නොත් ලකුණු 150 කට වැඩි ලකුණු පුවරුවක් වෙනුවෙන් ගමන් කිරීම හොඳ තරඟයක් සඳහා තබන අඩිතාලමකි. යම් හෙයිකින් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දුන්නොත් ඔවුන්ව ලකුණු 140 කට මෙහා සීමාවේ රඳවා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම වැදගත් වනවා. තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අද දිනයේත් ප්‍රථමෙයෙන් පන්දු යැවීම තෝරාගත හැකි බව විශ්වාස කළ හැකියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top