ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි

[vc_row][vc_column][vc_column_text]ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනයට සුදසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වන්නට Mathilda Karlsson පසුගියදා සමත් වුණා. මේ අතර ඊයේ දිනයේදී ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙන බව වාර්තා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවැනි ක්‍රීඩිකාව ලෙස මිල්කා ගෙහානි ඩි සිල්වා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වෙන්. ඇය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගන්නේ ආසියානු කලාපීය කෝටාව තුළින් වීම සුවිශේෂී කාරණාවක්. ඒ අනුව ඇයගේ ඔලිම්පික් සහභාගිත්වය ජුනි මාසයේදී ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය විසින් නිළ වශයෙන් නිවේදනය කරනු ඇති.

18 වැනි වියේ පසුවන මිල්කා ආසියානු කනිෂ්ඨ ශුරතාවලියේදී දෙවරක් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ඒ 2017 සහ 2018 යන වසර වලදී. එමෙන්ම 2018 වසරේදී යොවුන් ඔලිම්පික් උළෙලටද සහභාගි වුණු ඇය 49 වැනි කලාත්මක ජිම්නාස්ටික් ලෝක ශුරතාවේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

මිල්කා 2016 වසරේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තමන් සහභාගී වුණු ඉසව්වෙන් 6වෙනි ස්ථානය වාර්තා කල ඇය 2017 සහ 2018 වසරේදී ජාතික ශුරිය බවට පත්වන්නටද සමත් වුණා. එමෙන්ම ආසියානු ජිම්නාස්ටික් ශුරතාවයේදී තමන් සහභාගී වූ ඉසව්වෙන් 8 වන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය 2011 වසරේ සිට 2014 වසර දක්වා අඛණ්ඩව ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශුරිය වන්නට සමත්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වන විට තරඟකරුවන් දෙදෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් දෙදෙනාම ක්‍රීඩිකාවන් වීම සුවිශේෂී කාරණාවක්. ඔවුන් දෙදෙනාටම ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන්නට හැකිවේවා යන්න  අපේ පැතුමයි.

CREE-DA Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top