[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් පැවැත්වීමට නියමිතව තිබේ. මීට ප්‍රථමව ශ්‍රී ලංකාව 2010, 2012, 2014 සහ 2016 යන වසර වලදී සිව් වතාවක් එංගලන්තය මුණ ගැසුන අතරම ඉන් තුන් වතාවක ජයග්‍රහණය එංගලන්තයටද එක් වතාවක් ශ්‍රී ලංකාවටද හිමිව තිබේ. මෙම ලිපියෙන් ඉතිහාසයේ ශ්‍රී ලංකාව එංගලන්තය සමගින් විස්සයි විස්ස ලෝක කුසලාන වල තරඟ වැදුණු ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරේ,
2010 තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟය එංගලන්තය සමග
ශ්‍රී ලංකාව පිට පිටම දෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන සිටි අතරම පිට පිටම දෙවන වතාවට අවසන් මහා තරඟ නියෝජනය සඳහා ශ්‍රී ලංකාව එක් ජයග්‍රහණයක් මෙපිටින් පසු විය. අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දෙන ලදී. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය නැවතත් සුබදායී නොවූ අතර මහේල ජයවර්ධන, සනත් ජයසුරිය සහ තිලකරත්න ඩිල්ශාන් යන තිදෙනාම දැවී යන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 26ක් ලෙසටය. අනතුරුව කුමාර් සංගක්කාරත් දැවී ගිය අතර 47-4ක් ව තිබූ ඉනිම ගොඩගැනීම සඳහා චාමර කපුගෙදර සහ ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් උත්සාහ කරන ලදී.
ඔවුන් දෙපළ 5 වන කඩුල්ල සඳහා ලකුණු 46ක් එක් කළද එය ශක්තිමත් ලකුණු පුවරුවක් කරා යෑමට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කලේ ලකුණු 128ක් පමණි. ඉනිමේ නැංගුරම වූ ඇන්ජලෝ මැතිව්ස් විසින් පන්දු 45 කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක්ද සමගින් ලකුණු 58ක් රැස් කළේය. පන්දු යැවීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය පළමු කඩුල්ලටම ලකුණු 68 ක සාර්ථක ආරම්භයක් ලබා ගත් අතරම ඉන් අනතුරුව පහසුවෙන් ඉලක්කය කරා ගමන් කළේය. පන්දුවාර 16ක් අවසන් වද්දී කඩුලු 3ක් පමණක් දැවී එංගලන්තය තම ජයග්‍රහණය සටහන් කර ගත්තේ 2010 විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා බලාපොරොත්තු අවසන් පූර්ව වටයෙන් නිමා කර දමමිනි.
තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 128-6 (20)
ඇන්ජලෝ මැතිව්ස් 58(45), කුමාර් සංගක්කාර 16(19), චාමර කපුගෙදර 16(27)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 21/2, ග්‍රේම් ස්වාන් 20/1
එංගලන්තය 132-3 (16)
කෙවින් පීටර්සන් 42(26)*, ක්‍රේග් කීස්වෙටර් 39(29), මයිකල් ලෑම්බ් 33(26)
තිසර පෙරේරා 19/2, ලසිත් මාලිංග 33/1
තරඟයේ වීරයා – ස්ටුවර්ට් බ්‍රෝඩ්
2012 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තෙවන තරඟය එංගලන්තය සමග
ශ්‍රී ලංකාව සුපිරි අට වටයේ අවසානයට හමු වූයේ 2010 වසරේ ලෝක ශූරයන් වූ එංගලන්තය කණ්ඩායමය. එම තරඟයේදී ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දෙන ලදී. ආරම්භක කඩුල්ලට ලකුණු 35ක් එක් වූ අතර ඩිල්ශාන් ලකුණු 16 කට දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි පිතිකරුවන් විසින් කෙටි නමුත් වටිනා ඉනිම් කිහිපයක් දියත් කිරීමට සමත් වූහ. පන්දු 38 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 42ක් රැස් කළ මහේල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලෙසින් ඉනිම අවසන් කළේය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ එංගලන්තයේ මුල් පෙළ සහමුලින්ම විනාශ කර දැමීමට ලසිත් මාලිංග කටයුතු කළේය. තරඟයේ තුන්වන පන්දුවාරය තුළදී ලුක් රයිට්, ජොනී බෙයාස්ට්‍රෝ සහ ඇලෙක් හේල්ස් යන තිදෙනාව පන්දු 4ක් තුළ මාලිංග විසින් දවා ගත්තේය. එංගලන්ත කඩුලු 7ක් ලකුණු 93ක් තුළ බිඳ වැටුණ අතර ඉනිම ගොඩගැනීමට හුදෙකලා සටනක් දියත් කළ සමිට් පටෙල් පන්දු 48 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 67ක් රැස් කරන ලදී. අවසානයේ ඔහුවද දවාගත් මාලිංග විසින් තම පන්දුවාර 4 තුළදී ලකුණු 31 කට කඩුලු 5ක් බිඳ හෙලමින් තම විස්සයි විස්ස දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. එංගලන්තය පන්දුවාර 20 දී කඩුලු 9 කට ලකුණු 150 කින් නතර වූයේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සුපිරි අට වටයෙන් අවසන් කරගනිමිනි.
තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 169-6 (20)
මහේල ජයවර්ධන 42(38), ඇන්ජලෝ මැතිව්ස් 28(19), තිසර පෙරේරා 26(16)*
ස්ටුවර්ට් බ්‍රෝඩ් 32/3, ග්‍රේම් ස්වාන් 26/2
එංගලන්තය 150-9 (20)
සමිට් පටෙල් 67(48), ග්‍රේම් ස්වාන් 34(20)
ලසිත් මාලිංග 31/5, අකිල ධනංජය 26/2
තරඟයේ වීරයා – ලසිත් මාලිංග
2014 තරඟාවලියේ තුන්වන තරඟය එංගලන්තය සමග
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ එංගලන්තය සමග ශ්‍රී ලංකාව තෙවන වතාවට 2014 දී තරඟ වැදුනි. මින් පෙර 2010 එංගලන්තයද 2012 ශ්‍රී ලංකාවද ජයග්‍රහණ හිමිකර ගෙන තිබූ මෙම තරඟය අවසන් පූර්ව වට බලාපොරොත්තු සඳහා දෙපිලටම තීරණාත්මක විය. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා ලකුණු 4 කට දැවී ගිය පසු පිටියේ ස්ථාවර වූ තිලකරත්න ඩිල්ශාන් සහ මහේල ජයවර්ධන යුගලය ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කඩුල්ලට සුපිරි ලකුණු 145 ක සබඳතාවයක් පැවැත්වූහ. මෙහිදී ඩිල්ශාන් ලකුණු 55ක් රැස් කළේය. අගනා ඉනිමක් දියත් කලේ මහේල විසින් පන්දු 51 කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක්ද සමගින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 89කි. මහේල සහ ඩිල්ශාන් ගෙේ ඉනිම් වලට අමතරව තිසර පෙරේරා විසින් ලබාගත් වේගවත් ලකුණු 23 නිසාවෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 කට ලකුණු 189ක් රැස් කළේය.
ලකුණු 190 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත මුල් කඩුලු ද්විත්වයම ලකුණු 0ක් තුළ මුල් පන්දුවාරයේදීම දවා ගැනීමට නුවන් කුලසේකරට හැකි විය. නමුත් ඉන් පසුව නායක ඔයින් මෝගන් සහ ඇලෙක්ස් හේල්ස් විසින් තෙවන කඩුල්ලට අගනා ලකුණු 152 ක සබඳතාවයක් පිහිටවූයේ එංගලන්තයට නැවතත් ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කරමිනි. මෝගන් ලකුණු 57 කට දැවී යද්දී එක් අන්තයක රැඳෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කල ඇලෙක්ස් හේල්ස් විසින් පන්දු 64 කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් ද සමගින් නොදැවී ලකුණු 116 ක ඉනිමක් දියත් කළේ පන්දුවාර 19.2 ක් තුළ එංගලන්තය ජයග්‍රාහී සීමාවට රැගෙන එමින් ය. එම ඉනිම සටහන් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී පිතිකරුවෙකු විසින් රැස්කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය. එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම දවා ගැනීමට නුවන් කුලසේකරකට හැකි විය.
තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 189-4 (20)
මහේල ජයවර්ධන 89(51), තිලකරත්න ඩිල්ශාන් 55(47), තිසර පෙරේරා 23(12)*
ක්‍රිස් ජෝර්ඩන් 28/2, ජේඩ් ඩර්න්බැච් 42/2
එංගලන්තය 190-4 (19.2)
ඇලෙක්ස් හේල්ස් 116(64)*, ඔයින් මෝගන් 57(38)
නුවන් කුලසේකර 32/4
තරඟයේ වීරයා – ඇලෙක්ස් හේල්ස්
2016 තරඟාවලියේ තුන්වන තරඟය එංගලන්තයට එරෙහිව
ශ්‍රී ලංකාව 2016 දී තුන්වන තරඟයට එක් වූයේ එංගලන්තයට එරෙහිවය. මෙම තරඟය ජයග්‍රහණය නොකළහොත් ශ්‍රී ලංකාවට තරඟාවලියෙන් ඉවත් වීමට අනිවාර්යයෙන්ම සිදු වන නිසාවෙන් තරඟය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. අනෙක් පසින් එංගලන්තයද මෙම තරඟය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා ඉරණමටම ගොදුරු වීමට නියමිත විය. මේ නිසාවෙන් දෙපිළම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පැමිණිය අතර එංගලන්තය මුලින්ම පන්දුවට පහර දෙන ලදී. 2014 ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් රැස් කළ ඇලෙක්ස් හේල්ස් ලකුණු නොලබාම දැවී ගියේය. අනතුරුව ජේසන් රෝයි විසින් ලකුණු 42ක් රැස් කළ අතරම ජෝ රූට් සහ ඔයින් මෝගන් වටිනා කෙටි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළේය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ජොස් බට්ලර් විසින් පන්දු 37 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 66ක් රැස් කළේ එංගලන්ත ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4 කට ලකුණු 171ක් දක්වා ඉහළ නංවමිනි.
ලෝක කුසලානයේ තවදුරටත් රැඳී සිටීමට ලකුණු 172 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිවිසි ශ්‍රී ලංකාවට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. දිනේශ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ශාන්, මිලින්ද සිරිවර්ධන සහ ලහිරු තිරිමාන්න යන ශ්‍රී ලංකා මුල් කඩුලු 4 ම ලකුණු 15ක් තුළ බිඳ වැටුණි. නමුත් මේ මොහොතේදී චාමර කපුගෙදර සමගින් එක් වූ ඇන්ජලෝ මැතිව්ස් 5 වන කඩුල්ලට ලකුණු 80ක් එක් කළේ ශ්‍රී ලංකා බලාපොරොත්තු නැවත ඔප් නංවමිනි. කපුගෙදර ගේ දැවී යාමෙන් අනතුරුව තිසර පෙරේරාත් සමගත් ලකුණු 42ක් කරමින් මැතිව්ස් හුදෙකලා සටනක නිරත විය. මැතිව්ස් විසින් පන්දු 54 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී ලකුණු 73ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 නිමා වද්දී කඩුලු 8ක් දැවී ලකුණු 161 කින් නතර වූයේ එංගලන්තයට ලකුණු 10 ක තියුණු ජයග්‍රහණයක් අත්කර දෙමිනි. ඒත් සමගින් තරඟයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු නිමාවට පත් විය.
තරඟ සාරාංශය
එංගලන්තය 171-4 (20)
ජොස් බට්ලර් 66(37)*, ජේසන් රෝයි 42(39), ජෝ රූට් 25(24)
ජෙෆ්රි වැන්ඩසේ 26/2, රංගන හේරත් 27/1
ශ්‍රී ලංකාව 161-8 (20)
ඇන්ජලෝ මැතිව්ස් 73(54)*, චාමර කපුගෙදර 30(27), තිසර පෙරේරා 20(11)
ක්‍රිස් ජෝර්ඩන් 28/4, ඩේවිඩ් විලී 26/2
තරඟයේ වීරයා – ජොස් බට්ලර්
ශ්‍රී ලංකා එංගලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ සාරාංශය
තරඟ – 4
ශ්‍රී ලංකා ජයග්‍රහණ – 1
එංගලන්ත ජයග්‍රහණ – 3
ශ්‍රී ලංකා ජයග්‍රාහී ප්‍රතිශතය – 25%
එංගලන්ත ජයග්‍රාහී ප්‍රතිශතය – 75%
ඉනිමක ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 161.75
ඉනිමක ලකුණු සාමාන්‍ය එංගලන්තය – 160.75
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 8.08
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය එංගලන්තය – 8.53
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 26.95
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය එංගලන්තය – 32.15[/vc_column_text][/vc_column][/vc_row]