ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ඉතිහාසය!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දින පැවැත්වීමට නියමිත වී තිබේ. මෙම තරඟයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී තුන් වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතරම ඉන් ජයග්‍රහණ 2ක් දකුණු අප්‍රිකාවටද එක් තරඟයක ජය ශ්‍රී ලංකාවටද හිමි වී තිබේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ එම තරඟ තුන කෙරෙහිය,

2012 ලෝක කුසලානයේ මූලික වටයේ දෙවන තරඟය දකුණු අප්‍රිකාව සමග

ශ්‍රී ලංකාව එවර ලෝක කුසලානයේ දෙවනුවට දකුණු අප්‍රිකාව හමු වූ අතර මෙම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වී ප්‍රමාද වී ආරම්භ වුන තරඟය පන්දුවාර 7 කට සීමා කරමින් පැවැත්වීමට තීරණය විය. මුළින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 7 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 78ක් රැස් කිරීමට සමත් විය. වේගවත් ඉනිමක් දියත් කල ඒ.බී. ඩිවිලියර්ස් විසින් පන්දු 13 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 30ක් රැස් කරන ලදී.

පන්දුවාර 7 කදී ලකුණු 79 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල් කඩුලු දෙකම ලකුණු 8ක් තුළ බිඳ වැටුණ අතර ඩේල් ස්ටේන් ඇතුළු දකුණු අප්‍රිකා පන්දු යැවීමේ බලඇණිය හමුවේ ලකුණු 79ක් හඹා යෑම ශ්‍රී ලංකාවට දුෂ්කර විය. දිල්ශාන් මුණවීර සහ සංගා ලකුණු 13 බැගින් රැස් කළ අතර වෙනත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 10 සීමාවට ළඟා වූයේ නැත. මේ නිසාවෙන් පන්දුවාර 7 තුළදී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5 කට ලකුණු 46ක් ලෙසින් සටහන් වූ අතර දකුණු අප්‍රිකාවට ලකුණු 32 ක ජයක් හිමි විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් ද්විත්වය සුපිරි 8 වටයට සුදුසුකම් ලබමින් C කාණ්ඩය නිමා විය.

තරඟ සාරාංශය

දකුණු අප්‍රිකාව 78-4 (7)
ඒ.බී.ඩිවිලියර්ස් 30(13), හෂීම් අම්ලා 16(9)
නුවන් කුලසේකර 9/1, තිසර පෙරේරා 12/1

ශ්‍රී ලංකාව 46-5 (7)
කුමාර් සංගක්කාර 13(11), දිල්ශාන් මුණවීර 13(14)
ඩේල් ස්ටේන් 10/2, ඇල්බී මෝකල් 8/1

තරඟයේ වීරයා – ඒ.බී.ඩිවිලියර්ස්

2014 ලෝක කුසලානයේ පළමු තරඟය දකුණු අප්‍රිකාව සමග

2012 මූලික වටයේදී පරාජයට පත් වූ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ 2014 ලෝක කුසලාන මුල්ම ප්‍රතිවාදීන් බවට පත් විය. තරඟයේ මුළින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භ පන්දුවාරයේදීම ලකුණු 17ක් රැස් කිරීමට කුසල් පෙරේරා සමත් වුවත් තිලකරත්න ඩිල්ශාන් පළමු පන්දුවේදීම දැවී ගියේය. අනතුරුව මහේල ලකුණු 9 කට සහ සංගා ලකුණු 14 කට දැවී යද්දීත් තම අන්තයේ ආරක්ෂා වූ කුසල් විසින් සාර්ථක ඉනිමක් දියත් කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පන්දු 40 කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 61ක් රැස් කළේය. කුසල්ට සහායක් වූ ඇන්ජලෝ මැතිව්ස් ද වටිනා ලකුණු 43ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලෙසින් සටහන් විය. පන්දු යැවීමේදී ඉම්රාන් තාහීර් කඩුලු 3ක් බිඳ හෙලුවේය.

ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. විටෙක ඔවුන් ලකුණු 82-1 ක් වැනි ස්ථාවර තත්ත්වයක පසු වූවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත්‍ර සේනානායක සහ ඇන්ජලෝ මැතිව්ස් විසින් යැවූ මනා පාලනයක් සහිත පන්දුවාර කිහිපය දකුණු අප්‍රිකාවෙන් තරඟය උදුරා ගැනීමට ප්‍රමාණවත් විය. අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 15ක් අවශ්‍ය වූ නමුත් මාලිංග යැවූ අවසන් පන්දුවාරයේ ඔවුන් රැස්කළේ ලකුණු 9ක් පමණි. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාවට පළමු තරඟයෙන් ලකුණු 5 ක තියුණු ජයක් හිමි විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 165-7 (20)
කුසල් පෙරේරා 61(40), ඇන්ජලෝ මැතිව්ස් 43(32)
ඉම්රාන් තාහීර් 26/3, මෝනේ මෝකල් 31/2

දකුණු අප්‍රිකාව 160-8 (20)
ජේ.පී.ඩුමිනි 39(30), ක්වින්ටන් ඩි කොක් 25(18), ඒ.බී.ඩිවිලියර්ස් 24(16)
සචිත්‍ර සේනානායක 22/2, ඇන්ජලෝ මැතිව්ස් 21/1, නුවන් කුලසේකර 23/1

තරඟයේ වීරයා – කුසල් පෙරේරා

2016 ලෝක කුසලානයේ මූලික වටයේ සිව්වන තරඟය දකුණු අප්‍රිකාව සමග

මෙම තරඟය ආරම්භ වන විටදී දකුණු අප්‍රිකාවද මෙන්ම ශ්‍රී ලංකාවද තරඟාවලියෙන් ඉවත් වී තිබුණි. එම නිසා මෙම තරඟය ජයග්‍රහණය කරමින් ගෞරවාන්විත ලෙසින් තරඟාවලිය නිමා කිරීම කණ්ඩායම් ද්විත්වයේම අපේක්ෂාව බවට පත් විය. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් මුළින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේශ් චන්දිමාල් සහ තිලකරත්න ඩිල්ශාන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 45ක් පළමු කඩුල්ලට එක් කළේය. ඒ පන්දුවාර 4.5 ක් තුළදීය. තිරිමාන්න ලකුණු 0 කට දැවී ගිය අතරම ශ්‍රී ලංකාවේ මැදපෙල නැවතත් අසාර්ථක විය. විටෙක 75-2ක් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 96-7 ක් බවට පරිවර්තනය වූයේ ලකුණු 21ක් තුළ කඩුලු 5ක් බිඳ වැටෙමිනි. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.3 ක් තුළ ලකුණු 120 කට සියල්ලම දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලකරත්න ඩිල්ශාන් ලකුණු 36ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිවිසි දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් දුවද්දී දැවී ගියද කල්පනාකාරී ලෙසින් හෂීම් අම්ලා, ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඒ.බී.ඩිවිලියර්ස් විසින් දියත් කළ ඉනිම් දකුණු අප්‍රිකාවට පහසු ජයග්‍රහණයක් සඳහා මංපෙත් විවර කළේය. අම්ලා පන්දු 52 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව පන්දුවාර 17.4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 2016 විස්සයි විස්ස ලෝක කුසලානය එක ජයග්‍රහණයක් පමණක් ලබා ගනිමින් මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 120-10 (19.3)
තිලකරත්න ඩිල්ශාන් 36(40), දිනේශ් චන්දිමාල් 21(20), දසුන් ශානක 20(18)*
කයිල් ඇබොට් 14/2, ෆර්හාන් බිහාර්ඩීන් 15/2, ආරොන් පැන්ගීසෝ 26/2

දකුණු අප්‍රිකාව 122-2 (17.4)
හෂීම් අම්ලා 56(52)*, ෆෆ් ඩු ප්ලෙසිස් 31(36), ඒ.බී.ඩිවිලියර්ස් 20(12)*
සුරංග ලක්මාල් 28/1

තරඟයේ වීරයා – ආරොන් පැන්ගීසෝ

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා කණ්ඩායම් වාර්තා

තරඟ – 3
දකුණු අප්‍රිකා ජයග්‍රහණ – 2
ශ්‍රී ලංකා ජයග්‍රහණ – 1
ශ්‍රී ලංකා ජයග්‍රාහී ප්‍රතිශතය – 33.33%
දකුණු අප්‍රිකා ජයග්‍රාහී ප්‍රතිශතය – 66.66%
ඉනිමක ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 110.33
ඉනිමක ලකුණු සාමාන්‍ය දකුණු අප්‍රිකාව – 120
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 7.11
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය දකුණු අප්‍රිකාව – 8.05
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 15.04
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය දකුණු අප්‍රිකාව – 25.71[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top