ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහි තරගාවලියට එංගලන්ත යොවුන් පිල 22 ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය  සහභාගිවීම සඳහා එංගලන්ත යොවුන් පිල නොවැම්බර් 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, තරගාවලිය ජෛව බුබුලු පරිසරයකට යටත්ව පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට ඔක්තෝබර් මසදී යොවුන් ලෝක ශූරයින් වන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගාවලියකට ක්‍රීඩා කර අතර එම තරගාවලිය 5-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ලද එම තරගාවලිය සඳහා යොවුන් පිල ක්‍රීඩා කරන ලද්දේ වසර 2 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනුණි. රටේ පැවැති වසංගත තත්ත්වය ඊට ඉවහල් විය.

“අපි අවසන් වරට බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය 5-0 කින් ජය ගැනීමට සමත් වූවා. එම ජයග්‍රහණය අපේ කණ්ඩායම ගැන තක්සේරුවක් ලබා ගැනීමට ගොඩක් ඉවහල් වුණා” යි පවසන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා “කණ්ඩායමේ තියෙන සුලු සුලු අඩුපාඩු සියල්ල අපි එංගලන්ත තරගාවලියේදී සකස් කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු වීමටත් කණ්ඩායමක් විදියට ස්ථාවරත්වය සකසා ගොඩ නඟා ගන්නත් මේ තරගාවලිය වැදගත් වෙනවා” යැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔක්තෝබර් 15 වැනිදා සිට 25 වැනිදා දක්වා කාල සීමාවේදී රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති බංග්ලාදේශ තරගාවලියට පෙර යොවුන් කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුහුණු වැඩ සටහන් රාශියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩ පහසුකම් සකස් කර දුන්නේය. එහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතා සපිරි යොවුන් ක්‍රීඩකයින් 75 ක් තෝරා ගනිමින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්පුවන ලද පුහුණු කඳවුර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබීය. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව නේවාසිකව පවත්වන ලද එම වැඩ සටහනේදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් තරග අවස්ථා ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

එම වැඩසටහනින් පසු නැවතත් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ඇතුළු ඉදිරියේ පැවැත්වෙන තරග සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නේවාසික පුහුණු කඳවුර දෙකක්ම පැවැත්වීම කැපී පෙනිණි.

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ, භෞත චිකිත්සකවරයා ලෙසද බුද්ධික හේරත් අභ්‍යාසක ලෙසද කටයුතු කරති.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top