සිංහ ධේනුවන් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි

2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබුණා.

ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තෙවන එක්දින තරගයෙන් ලකුණු 75කින් පරාජයට පත් වීමත් සමගයි.

එම පරාජ‍යත් සමගින් නවසීලන්ත කණ්ඩායම ICC ලෝක කුසලානය ඍජු සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයට පත් වූ අතර පස්වන ස්ථානය හිමි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් සපුරා ගැනීමට සමත් වුණා.

ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීමේ වටයට අදාළ තරග 24න් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් තරග 9ක් ජයග්‍රහණය කළ අතර තරග 4ක් ජයපැරදුමෙන් තොරව අවසන් වූ නිසාවෙන් ප්‍රසාද ලකුණු 22ක් හිමිවුණා. නවසීලන්තයද තරග 9ක් ජයගත් නමුත් ඔවුන් තරග 12ක් පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු 21ක් සමගින් හයවැනි ස්ථානයට පත්වන්නට සිදුවුණා.

2025 ලෝක කුසලාන තරගාවලියට සත්කාරක ඉන්දියාව හැරුනු විට ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 5 හිමි කණ්ඩායම් ඍජුවම සුදුසුකම් ලබන අතර තවත් කණ්ඩායම් 2ක් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත් වෙයි.

Back To Top