හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති

හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර ගන්නා ලද්දේ ඉනිම ආරම්භයේ සිටම තරගය අවසන් වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. මෙය හර්ෂිතාගේ විස්සයි-20 තරග දිවියේ වාර්තා කරන ලද වේගවත් මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඇය ගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2022 වසරේ දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් තායිලන්තයට එරෙහි ව ලබා තිබූ ලකුණු 81යි.  

පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 145 ක් රැස් කර ගත් අතර එය හඹා යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වූයේ පන්දුවාර 16 කුත් පන්දු 4 ක් පමණි. ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට කඩුලු 7 ක් පමණක් නොව පන්දු 20 ක් ලකුණු පුවරුවේ ඉතිරිව පැවැතිණ. මොවුන් දෙදෙනා එක්ව පවර් ප්ලේ පන්දුවාර 6 දී ඉනිම ලකුණු 50 කින් පෝෂණය කළහ.

මෙම හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්නට එක් වුණු හර්ෂිතා ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙහිදී විශ්මි ලකුණු 30 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට සාර්ථක අඩිතාලම එක් කිරීමට දායකත්වය ලබා දුන්නාය. 10 වැනි පන්දුවාරයේදී විශ්මි දැවී ගිය නමුත්, තම සටන අත්නොහළ හර්ෂිතා තරගය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නාය. මිනිත්තු 69 ක් දක්වා දීර්ඝ වුණු හර්ෂිතාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් වර්ණවත් ව තිබිණ.හර්ෂිතාට අමතරව තරගයේ අනෙක් එකම හයේ  පහර එල්ල කිරීමට සමත්වූ අනෙක් ක්‍රීඩිකාව වූයේ විශ්මි ගුණරත්නය. පන්දු 34 කින් සමන්විත එම ඉනිමට හතරේ පහර 3 ක්ද ඈ ඇතුළත් කර තිබුණාය.

ප්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් කිසිවකුත් දැවැන්ත ලකුණු කරා යෑමට අපොහොසත් වූ නමුත් සෑම ක්‍රීඩිකාවකම ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පන්දුවාර 20 නිමා වද්දී කඩුලු 6 ට ලකුණු 145 ක් රැස් කර ගැනීමට ඔවුනට හැකි විය. මෙහිදී වැඩිම ලකුණු ලබා ගන්නා ලද්දේ ගැබී ලුවිස් වන අතර ඇය පන්දු 33 කින් ලකුණු 39 ක් ලබා ගත්තාය.

චමරි අතපත්තු විස්සයි-20 තරගාවලිය නියෝජනය නොකරන බැවින් අනුෂ්කා සංජීවනී විසින් කණ්ඩායම මෙහෙයවන්නීය. මෙය අනුෂ්කා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවනු ලබන පළමු අවස්ථාව වන්නීය.

අයර්ලන්ත කාන්තාවෝ පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 145 යි

ඇමී හන්ටර් 17, ගැබී ලුවිස් 39, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් 29, ලෝරා ඩෙලානි 25, රෙබෙකා ස්ටොකේල් 21, ඉනෝෂි ප්‍රියදර්ශනී 35/2

ශ්‍රී ලංකා කාන්තාවෝ පන්දුවාර 16.4 කදී කඩුලු 3 ට ලකුණු 149 යි

විශ්මි ගුණරත්න 30, හර්ෂිතා සමරවික්‍රම 86*, අනුෂ්කා සංජීවනී 12

Back To Top