හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙහි ශූරතාව හිමිකරගත්තේ, 2007 වසරෙන් පසුවයි‍.

තරගාවලිය දින තුනක් පුරා පැවැත්වුණේ, හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේදී.
අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය සුදුසුකම් ලබා තිබුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලහිරු මදුසංක තීරණය කළේ, පකිස්තානයට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමටයි.

ඒ අනුව පකිස්තානය පන්දුවාර 5යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 72ක් රැස් කළා.
මොහොමඩ් අක්ලාක් ලකුණු 48යි.

පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් සහ තරිඳු රත්නායක කඩුලු 02 බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 73ක්.

ඔවුන් පන්දුවාර 5කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 76ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

සඳුන් වීරක්කොඩි ලකුණු 34ක් රැස් කළ අතර, ලහිරු මදුසංක ලකුණු 19යි.

ශ්‍රී ලංකාව හොංකොං සික්ස්ර්ස් තරගාවලියේ දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. “හොංකොං සික්ස්ර්ස්” තරගාවලිය මෙවර පැවත්වුණේ, 2017 වසරෙන් පසුවයි.

අවසන් තරගයේ වීරයා ධනංජය ලක්ෂාන්. තරගාවලියේ වීරයා සම්මානය තරිදු රත්නායකට හිමිවුණා.

Back To Top