2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා.
ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට සමත් වද්දී පරාජයට පත් වී ඇත්තේ තරග 3ක් පමණයි.
මෙම ජයග්‍රහණ අතරට 27 වසරකට පසුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව මෙරටදී ලද තරගාවලි ජයග්‍රහණය මෙන්ම වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව මෙරටදී ලද තරගාවලි ජයග්‍රහණය ද ඇතුළත් වෙනවා. මීට අමතරව මෙම වසරේදී සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහි තරගාවලීන් ජයග්‍රහණය කිරීමටත් ශ්‍රීලංකාවට හැකියාව ලැබෙනවා.
මෙම වසර තුළ ශ්‍රීලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ 66.6%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රදවා ගැනීමට සමත් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස බලන විට 2023 වසරට සාපේක්ෂව 15%කින් වර්ධනය වී තිබෙනවා. තවද මෙම වසර තුළ ජාත්‍යන්තර එක්දින පිටිය තුළ වැඩිම තරග ගණනක් ජයග්‍රහණය කොට ඇත්තේද ශ්‍රීලංකා කණ්ඩායමයි.
ගෙවුණු වසර තුළ ජාත්‍යන්තර එක්දින පිටිය තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන්නට කුසල් මෙන්ඩිස් සමත් වී ඇති අතර ඔහු ඉනීම 17කදී ලකුණු 742ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා. එහි දෙවන ස්ථානය ඉනීම 12කදී ලකුණු 694ක් රැස්කළ පැතුම් නිස්සංකට හිමි වී තිබෙනවා.
ගෙවුනු වසර තුල ශ්‍රීලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වුණේ වනිදු හසරංගයි. වනිදු එක්දින තරග 10කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 26ක් දවාගැනීමට සමත් වන්නේ ජාත්‍යන්තර එක්දින පිටියේ වසර තුළ වැඩිම කඩුලු ලාභියා බවටද පත් වෙමින්.
2024 වසර තුළ ශ්‍රීලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ පෙර වසරට සාපේක්ෂව වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වුණා. 2023 වසරේ ක්‍රීඩා කළ තරග 6න් තරග 2ක් පමණක් ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකාවට හැකි වූ නමුත් ගෙවුනු වසර තුල ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කරද්දී ඉන් තරග 6ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඉතිහාගත ජයග්රහණයන් කිහිපයක්ද සමගයි.
ඒ අතරට එංගලන්තයට එරෙහිව වසර 10කට පසුව ලද ටෙස්ට් තරග ජයග්‍රහණය මෙන්ම නවසීලන්තයට එරෙහිව වසර 15කට පසුව ලද ටෙස්ට් තරගාවලිය ජයද ඇතුළත්. නමුත් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ ලද පරාජය ලෝක ටෙස්ට් ශූරතාවලියේ බලාපොරොත්තු ශ්‍රීලංකාවෙන් තරමක් ඉවතට රැගෙන ගියත් තවමත් අවසන් මහා සටනට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.
ගෙවුනු වසර තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන කමිදු මෙන්ඩිස් ඉනීම 16ක් තුළදී ලකුණු 1049ක් රැස්කිරීමට සමත් වන්නේ ගෙවුනු වසරේ හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යයද රදවාගනිමින්.
2024 වසර තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වන්නේ තරග 9ක් තුළ කඩුලු 48ක් දවාගනිමින්.
ගෙවුණු වසර තුළ ටෙස්ට් සහ එක්දින තරග වලට සාපේක්ෂව ශ්‍රීලංකාව විස්සයි විස්ස තරග වල පසුබෑමක් පෙන්නුම් කොට තිබෙනවා. 2024 වසරතුළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 22කට ශ්‍රීලංකා පිළ ක්‍රීඩා කර ඇති නමුත් ඉන් ජයග්‍රහණය කිරීමට සමත්වන්නේ තරග 10ක් පමණයි.
නමුත් 2023 වසර සමග සංසන්දනය කිරීමේදී වැඩි ජයග්‍රාහී ප්‍රතිශතයක් අත්කරගන්නට ශ්‍රීලංකාවට හැකිවී තිබෙනවා. ඔවුන් පෙර වසරේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 7කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කොට ඇත්තේ තරග 2ක් පමණයි.
මෙම වසරේදී ලද ජයග්‍රහණ අතරින් කැපීපෙනෙන ජයග්‍රහණය බවට පත්වන්නේ ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට එරෙහිව තරගාවලියක් ජයගැනීමයි.
මෙම වසර තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු ලාභියා බවට පත්ව ඇත්තේ ද කුසල් මෙන්ඩිස්. ඔහු ඉනීම 22ක් තුළ ලකුණු 628ක් රැස්කරද්දී පැතුම් නිස්සංක ඉනීම 19ක් තුළ ලකුණු 622ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා.
මෙම වසර තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු දවාගෙන ඇත්තේ වනිදු හසරංගයි. වනිදු තරග 20කදී කඩුලු 38ක් දවාගනිද්දී එම ලැයිස්තුවේ දෙවන තැන රැදෙන මතීෂ පතිරණ තරග 18කදී කඩුලු 30ක් බිදහෙලන්නට සමත් වී තිබෙනවා.