2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා මහේල ජයවර්ධන

[vc_row][vc_column][vc_column_text]

2009 වර්ෂයේදී ඩිල්ශාන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී ඔහු පසුපස යමින් 2010 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ මහේල ජයවර්ධනයි. මෙය එකම රටකින් පිට පිටම විස්සයි විස්ස ලෝක කුසලාන වල වැඩිම ලකුණු ලාභීන් බිහි වූ පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වුණා. තරඟාවලිය පැවැත්වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගෙනයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කරගත් පළමු සහ එකම අවස්ථාවද මෙම තරඟාවලියේදී මහේල තමන් සතු කරගත්තා. ඔහු තරඟාවලියේ දැක්වූ තීරණාත්මක දක්ෂතා නිසාවෙන්ම පිට පිට දෙවන වතාවටත් අවසන් පූර්ව වට නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණ නමුත් අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ පරාජයට පත් වීම නිසාවෙන් ශ්‍රී ලංකා 2010 විස්සයි විස්ස ලෝක කුසලාන ගමන එතකින් නිමාවට පත් වුනා.

තරඟාවලිය පුරාවට මහේල ජයවර්ධන ක්‍රීඩා කළ ආකාරය

1 තරඟය නවසීලන්තයට එරෙහිව – 81(51)
2 තරඟය සිම්බාබ්වේට එරෙහිව – 100(64)
3 තරඟය කොදෙව්වන්ට එරෙහිව – 98(56)*
4 තරඟය ඕස්ට්‍රේලියාවට එරෙහිව – 9(6)
5 තරඟය ඉන්දියාවට එරෙහිව – 4(3)
6 තරඟය එංගලන්තයට එරෙහිව – 10(9)

මහේල විසින් මෙම තරඟාවලිය පුරාවට රැස්කළ ලකුණු සංඛ්‍යාව පසු කිරීමට වෙනත් ක්‍රීඩකයෙක් සමත් නොවූ නිසාවෙන් 2010 විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් මහේලගේ නම ඉදිරියෙන්ම සටහන් වූවා. මෙම තරඟාවලියේදී සිම්බාබ්වේ සහ කොදෙව්වන් සමග පැවති තරඟ වල වීරයා වූවේද මහේල ජයවර්ධනයි. ඔහු තරඟාවලියේ පිත්තෙන් දැක්වූ දක්ෂතා පහත පරිදි සාරංශගත කළ හැකි වනවා,

තරඟ – 6
ඉනිම – 6
ලකුණු – 302
ඉනිමක සාමාන්‍ය – 60.4
ශතක – 1
අර්ධ ශතක – 2
තරඟයේ වීරයා සම්මාන – 2

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top