මාලිගේ වික්‍රමයන් මැද තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්!

[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පන්දුවෙන් අති විශිෂ්ඨ දස්කම් දැක් වූ ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමගින් පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් සනිටුහන් කිරීමට සමත් විය.

තරගාවලියේ පිට පිටම 3 වන වතාවටවත් කාසියේ වාසිය දිනූ ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර පසු ගිය තරගයේ සිදු වූ ආබාධය නිසා කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය වෙනුවට ධනුශ්ක ගුණතිලක සහ ලහිරු මධුසංඛ තරගයට කැදවීය.

ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුශ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරා අතරින් එක් අන්තයක සිට ධනුශ්ක ගුණතිලක ප්‍රවේගාකාරි ලෙස ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට ජවය එක් කලද දිගින් දිගටම කුසල් ජනිත් පෙරේරා මෙම තරගයේද අසාර්ථක වෙමින් සිය සුපුරුදු රිද්මය නොමැතිව පීඩනයකින් යුතුව ක්‍රීඩා කලේය.

පන්දු 12කදී ලකුණු 3ක් පමණක් රැස් කරමින් සිටි කුසල් ජනිත් පෙරේරා දවා ගැනීමට මිචෙල් සැන්ට්නර් සමත් විය.

31-1ක් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 39-2ක් බවට පත් වෙමින් ඉනිමේ දෙවන කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ව යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ටොඩ් ඇස්ට්ල්ගේ ගුග්ලි පන්දුව සමත් විය. ඒ වන විට පන්දු 12ක් වැය කර ලකුණු 6ක් පමණක් අවිශ්ක ප්‍රනාන්දු රැස් කරගෙන සිටියේය.

තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පසුපසින් සිටි අවස්ථාවක තෙවන තරගයේදීද ශ්‍රී ලංකාව අසාර්ථක වන පෙර නමිති පෙර නෙමිත් පෙන් වූ අතර ඉනිමේ තෙවන කඩුල්ලද මුලු ලකුණු ප්‍රමාණය 50ක් වෙද්දී දැවී ගිය අතර එහිදී ධනුශ්ක ගුණතිලක ලකුණු 30ක් රැස් කරගෙන සිටියේය.

ඉක්මන් ලකුණු 24ක් පන්දු 15කදී රැස් කල නිරෝශන් දික්වැල්ල මිචෙල් සැන්ට්නර් ගේ පන්දුවකට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු ප්‍රමාණය 77ක් වන විටය.

ශ්‍රී ලංකා පසුපෙල පිතිකරුවන්ටද වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර තරගාවලියට කලින් මහත් බලාපොරොත්තු තබා ගත් ක්‍රීඩකයෙක් වූ දසුන් ශානක මෙම තරගයේදීද අසාර්ථක විය. ඉසුරු උදාන ලකුණු දෙකකට දුවද්දී දැවී යද්දී අකිල ධනංජය ලකුණු නොලබා දැවී ගියේය.

ලහිරු මධුසංඛ ලකුණු 20ක් රැස් කල අතර වනිදු හසරංග නොදැවී ලකුණු 14ක් රැස් කලේය. පන්දුවාර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 125ක් රැස්කල අතර පසු ගිය තරග දෙකේදීම ලකුණු 165 සීමාව පසු කරත් තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා පිලට මෙම ලකුණු ප්‍රමාණය බැලූ බැල්මට සෑහිමකට පත් විය නොහැකි ලකුණු ප්‍රමාණයක් විය.

පන්දු යැවීමේදී පා දග පන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇස්ට්ල් ලකුණු 28කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර මිචෙල් සැන්ට්නර් ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 3ක් ලබාගත්තේය.

ලකුණු 126ක ජයග්‍රාහි ඉලක්කට හඹා යෑමට කොලින් මුන්‍රෝ සහ ටිම් සයිෆර්ට් පිටියට පැමිණියහ. පළමු පන්දුවාර දෙක අවසානයේ 15-0 ලෙස දිස් වූ ලකුණු පුවරුව තෙවන පන්දුවාරය අවසනයේ ලකුණු 15-4ක් ලෙස පත් වෙමින් නවසීලන්ත ඉනිම සුනු විසුනු කර දැමීමට ලසිත් මාලිංග සමත් වුයේ වාර්තා පිට වාර්තා තබමිනි.

2007 දී දකුණු අප්‍රිකාව සමග පන්දු 4කදී කඩුලු 4ක් ලබාගෙන ලෝක වාර්තාවක් තබමින් පෙන්වූ වික්‍රමය යලි අවුරුදු 12කින් පෙන්වූ ලසිත් මාලිංග එවැනි දස්කමක් එක් වතාවක් පමණක් නොව දෙවතාවක් පෑ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත් විය.දෙවන පන්දුවාරයේ තෙවන, සිව්වන, පස්වන සහ සය වන පන්දු වලදී පිලිවෙලින් කොලින් මුන්‍රෝ, හැමිශ් රැදර්ෆර්ඩ්, කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් සහ රෝස් ටේලර් දවාගනිමින් මෙම දස්කම දැක්වීමට ඔහු සමත් විය.

මෙය ලසිත් මාලිංගගේ පස්වන කඩුලු ත්‍රිත්වය වූ අතර ලොව වැඩිම කඩුලු ත්‍රිත්ව ලබාගත් පන්දු යවන්නා ලෙස වසීම් අක්‍රම්ව පසු කරමින් ඉතිහාසයට එක් වීමට ලසිත් මාලිංග සමත් විය.එසේම කොලින් මුන්‍රෝගේ කඩුල්ලත් සමහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100 කඩයිම පසු කිරීමට ලසිත් මාලිංග සමත් වූ අතර එවැනි දස්කමක් පෑ ලොව මුල්ම පන්දු යවන්නා බවට ලසිත් මාලිංග සමත් විය.

මාලිංගගේ තෙවන පන්දු වාරයෙන් ටොම් සයිෆර්ට් දවාගත් ඔහු සිය පස් වන කඩුල්ලත් ලබාගත් අතර මාලිංගගේ පන්දු වාර තුන අවසානයේ ඔහු ලකුණු 5කට කඩුලු 5ක් දවාගෙන සිටියේය. එවිට නවසීලන්ත ලකුණු පුවරුව පන්දුවාර පහක් අවසානයේ ලකුණු 25-5ක් බවට පත් විය. ලකුණු 25 සිට හයවන කඩුල්ල සඳහා ලකුණු 20ක් එක් කල මිචෙල් සැන්ට්නර් සහ ඩැරී මිචෙල් ගේ සබඳතාවය බිදී ගියේ ඩැරී මිචෙල් දුවද්දී දැවී යාමත් සමගය.

අකිල ධනංජය දියත් කල එම පන්දු වාරයේම කුගෙලෙලිජ්න් ව සහ මිචෙල් සැන්ට්නර් ව දවාගැනීමට විශිෂ්ඨ ලෙස පන්දු යැවූ අකිල ධනංජය සමත් වූ අතර එම පන්දුවාරය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව 49-8ක් ලෙස දිස් වූයේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක පෙර නිමිති දැක්වීමෙනි.

ඊලග පන්දුවාරය දියත් කල වනිදු හසරංග නවසීලන්ත නවවෙන කඩුල්ලද ලබාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණය පෙනන මානයට ගෙන ආවේය.

එහෙත් නායක ටිම් සවුතී හා එක් වූ සැත් රාන්ස් ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් තර්ජනයක් එල්ල කරමින් ලකුණු රැස් කල අතර ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.

එහෙත් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කර සෙත් රාන්ස් දැවී යනවාත් සමගම නවසීලන්ත ඉනිම නිමාවූ අතර ටිම් සවුතී නොදැවී ලකුණු 28ක් රැස් කරගෙන සිටියේය.

ලකුණු 124ක් ආරක්ශා කරමින් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර එහිදී ලකුණු 6කට කඩුලු 5ක් ලබාගත් ලසිත් මාලිංග කිසිදා අමතක නොවන පන්දු යැවීමක් දියත් කල අතර අකිල ධනංජය කඩුලු දෙකක් ලබාගනිද්දී ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

කෙසේවුවද තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්ත ජයග්‍රහණ කල අතර මුල් තරග දෙකේ අමිහිරි මතකයන් අවසාන තරගයේ ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණත් සමග මැකී යනු ඇත. තරගයේ වීරයා ලෙස ලසිත් මාලිංග නම් කෙරෙද්දී තරගාවලියේ වීරයා ලෙස තරගාවලිය පුරාම පන්දුවෙන් දස්කම් දැක්වූ සහ නායකත්ව වගකීම අකුරටම ඉටු කල ටිම් සවුතී නම් කරනු ලැබීය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top