එංගලන්තය පහසුවෙන්ම එක්දින තරගාවලියත් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත්  නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ජය ගත් පරිදිම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජය ගැනීමට අද (01 දා) සමත්විය.

පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ධෛර්යවන්ත ලෙසින් පිති හැසිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 242 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ පන්දු 42 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. ලකුණු 240 ක් ලබා සිටියදී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකට, එංගලන්ත නායක එයන් මෝගන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වද්දී ප්‍රතිවාදී පිලේ කඩුලු 2 ක් පමණක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටියේය.

ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන් ජේසන් රෝයි සහ ජෝනී බෙයාර්ස්ටෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කළේ පන්දු 76 ක් වැය කරමිනි. ෂෝට් මිඩ් විකට් කළාපයේ පන්දු රැකී ධනංජය ද සිල්වාගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ රෝයිගේ ඉනිම නිමාවට පත්වන විට ලකුණු 60 ක් ලබා සිටියේය. චාමික කරුණාරත්නගේ නම ඉදිරියෙන් එම කඩුල්ල සටහන් වුවද එහි පූර්ණ ගෞරවය ධනංජයගේ උඩ පන්දු රැකීමට හිමිවිය යුතුය. පන්දු 52 කදී ගොඩනැංවුණු එම රෝයිගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 104 ක් වන විට ජොනී බෙයාර්ස්ටෝගේ කඩුල්ල දවා ගැනීමට වනිඳු හසරංග සමත් වුවත් ජෝ රූට් සහ නායක මෝගන්ගේ ඉනිම නවතා ලීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකා පරාජය වළකාලීම නවතා ගැනීමට නොහැකි විය. එංගලන්ත ජයග්‍රහණය වන විට රූට් සහ මෝගන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක් එක් කළහ. එහිදී මෝගන් පන්දු 83 කදී ලකුණු 75 ක්ද රූට් පන්දු 87 කදී ලකුණු 68 ක්ද ලබා කඩුල්ලේ නොදැවී රැඳී සිටියහ.

එංගලන්ත තණතීරුවලදී පන්දුවට පහරදිය යුතු ආකාරය තවමත් වටහාගෙන නොමැතිව සිටින ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන්දෙගේ දඩයම දෙවැනි පන්දුවේ සිටම ඇරැඹූ වමත් වේග පන්දු යවන සෑම් කරන් ප්‍රථමයෙන්ම නායක කුසල් පෙරේරාවත්, ඊට පන්දු දෙකකට පසු අවිෂ්ක ප්‍රනාන්දුගේ කඩුල්ලද දවා ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක වුණු කරන් පැතුම් නිස්සංකව දවා ගන්නා විට ඔහුගේ පන්දු යැවීම පන්දුවාර 1.3 කදී ලකුණු 03 කට කඩුලු 3 ක් වශයෙන් සටහන් විය. චරිත් අසලංකද කරන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 කට යන්තමින් ලකුණු 21 ක් ලෙස සටහන්ව පැවැතිණ.

චාමික කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟ තම ක්‍රීඩා සමාජ පිටිය බවට පත් වුණු චෙස්ටර් ලී ස්ට්‍රීට්හි පන්දුවාර 10 ක් යවමින් ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගනිමින් තම එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සෑම් කරන් අද සමත්විය. සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද පැට්‍රික් කරන්ගේ මුණුබුරාද, පසුව සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන ලද කෙවින් කරන්ගේ පුත්‍රයා ද වන සෑම් කරන් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගන්නා ලද තරගයේදී ඔහුගේ සහෝදරයා වන ටොම් කරන්ද ඔහු සමඟන් ක්‍රීඩා කිරීමින් සිටියදීවීම දෛවෝපගත සිදුවීමක් බවට පත්විය. තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලබන ලද්දේ සෑම් කරන්විය.

සෑම් කරන්ට අනගි සහායක් ලබා දුන් අනෙක් වමත් පන්දු යවන්නා වන ඩේවිඩ් විලී ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 5 න් 4 ක් දවා ගත්තේය. ලකුණු 64 ක් ඇතුළත එම කඩුලු 4 විලී දවා ගැනීමට සමත්වද්දී වමත් පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 න් දැවී ගිය කඩුලු 9 ට හිමිකම් කීමද කැපී පෙනුණි.

ඉදිරි පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවය හේතුවෙන් විටෙක ලකුණු 100 සීමාව ඉක්මවාලීම අවධානම් සහගතව දිස් වුණු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 කට 241 දක්වා ඉහළ දමා ගැනීමට මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹවලට හැකියාව ලැබිණ.

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 21 කදී බිඳ වැටී අවුල් සහගත තත්ත්වයකට පත්ව සිටියදී සිය පිත්ත හැසිරවූ ධනංජය ධනංජය සහ වනිඳු හසරංග ශ්‍රී ලංකා පිල ගොඩ ගත්හ. අරවින්ද ද සිල්වාගේ පිතිහරඹය සිහි ගන්වමින් එල්ල කරන ලද මනරම් ඩ්‍රයිව් පහර, කට් පහර සහ පුල් පහර එල්ල කරමින් ලකුණු රැස් කළ ධනංජය දිනයේ කැපී පෙනෙනම පන්දු යවන්නා වුණු සෑම් කරන්ට එරෙහිව පිට පිට පන්දු 3 කට හතරේ පහර 3 ක් එල්ල කිරීමින් පීඩනය හැසිරවීම ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනිණ.

වනිඳුගේ පිත්තෙන් වාර්තා වූයේ ලකුණු 26 ක් වුවද එය ශ්‍රී ලංකාවට ආභරණයක් බඳු විය. සෑම් කරන්ගේ කඩුලු මල්ලේ 5 වැනි පිකිකරුවා ලෙසින් වනිඳු ඉවතට යද්දී ධනංජයට එකතු වුණු දසුන් ශානක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක් එක් කළේය. ශතකයට ලකුණු 9 ක් තිබියදී ධණංජයගේ වටිනා ඉනිම නිමාවට පත්වූයේ මුහුණු දුන් 91 වැනි පන්දුවේදීමය. එක්දින තරග දිවියේ තවමත් ශතකයකට හිමිකම් කියා නොමැති හැඩකාර දකුණත් පිතිකරුවාට අද දිනයේදී එය සපුරා ගැනීම සඳහා ඕනෑ තරම් පන්දු ඉතිරිව තිබුණද ඩේවිඩ් විළීගේ කෙටි පන්දුවට එල්ල කරන ලද පහර වැරදී යෑම හේතුවෙන් හතරේ පහර 13 ක්ද ඇතුළත් වුණු ධනංජයගේ වටිනා ඉනිම නිමාවට පත් විය.

එම දැවී යෑමත් සමඟ පිතිකරුවන් රහිතව පිටියේ තනි වුණු දසුන් ශානකද තෙවැනි අර්ධ ශතකයට ලබා ගැනීමට තවත් ලකුණු 3 ක් තිබියදී දැවී ගියේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන ඉරිදා බ්‍රිස්ටල්හිදී පැවැත්වෙනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top