[vc_row][vc_column][vc_column_text]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම අදහසකට අනුව 2007 වර්ෂයේදී ඉතිහාසයේ පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පවත්වන ලදී. මෙහිදී තරඟාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වූ අතරම ශ්‍රී ලංකාවද එම කණ්ඩායම් 12න් එක් කණ්ඩායමක් විය. හා හා පුරා කියා ශ්‍රී ලංකාව විසින් තම මංගල ලෝක කුසලාන තරඟයට එක් වූයේ කෙන්යාවත් සමගය. 2007 ලෝක කුසලාන අනුශූරයන් ද වූ ශ්‍රී ලංකාව ඒ වන විට ලොව සිටි ප්‍රභලතම කණ්ඩායමක් ලෙසින් සැලකුණි. මේ නිසාවෙන් මෙම තරඟය ආරම්භ වීමට පෙර සිටම ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයක් වාර්තා වන බවට මත පළ විය.
C කාණ්ඩය යටතේ ආරම්භ වූ තරඟය ලෝක කුසලානයේ 8 වන තරඟය ලෙසින් සටහන් වූ අතරම තරඟයේ කාසියේ වාසිය දිනූ කෙන්යාවේ ආරධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. පළමුවෙන් පන්දුවට පහර දීමේ වාසිය උපරිමයෙන්ම තමන් සතුකරගත් සනත් ජයසූරිය ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් වේගවත් ලෙසින් ලකුණු රැස් කරන්නට විය. ජයසූරිය පන්දු 44 කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 88ක් රැස්කළ අතරම මහේල ජයවර්ධන පන්දු 27 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින් ලකුණු 65ක් රැස් කළේය. තරඟයේ අවසන් භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් මුබාරක් විසින් පන්දු 13 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් ද සමගින් ලකුණු 46ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 260ක් ලෙසින් සටහන් කරමිනි.
එදින පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ශ්‍රී ලංකාව විශිෂ්ට දස්කම් දැක්වූ දිනයක් බවට කෙන්යා ඉනිමේදී පෙන්නුම් කෙරුණි. මෙහිදී චමින්ද වාස් ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කෙන්යා ඉනිම ලකුණු 88 කට සීමා වූයේ ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු 172 ක ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලට ශ්‍රී ලංකාව වාර්තා රැසක් සමගින් පිවිසුන අතර එම වාර්තා පහත පරිදි සටහන් කළ හැකිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තැබූ වාර්තා
මෙම තරඟයේදී සනත් ජයසූරිය විසින් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 88කි. එය සටහන් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී ක්‍රීඩකයෙක් විසින් රැස් කළ පළමු අර්ධ ශතකය ලෙසටය. ඒ වගේම මහේල ජයවර්ධන විසින් රැස්කරගත් අර්ධ ශතකය දෙවැන්න ලෙසින්ද සටහන් වේ.
තරඟය අවසානයේදී තරඟයේ වීරයා බවට පත්වූයේද සනත් ජයසුරිය ය. පිත්තෙන් රැස්කළ වේගවත් ලකුණු 88ට අමතරව ජයසුරිය විසින් පන්දුවෙන්ද පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 9 කට කඩුල්ලක් දවා ගත්තේය. මේ දස්කම් නිසාවෙන්ම ජයසූරිය තරඟයේ වීරයා ලෙසින් නම් වූ අතර ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යාවේ ආරම්භක පිතිකරු මොරිස් ඔවුමා ලකුණු නොලබාම පළමු පන්දුවාරයේදීම දැවී ගියේය. කඩුල්ල ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසිනි. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුල්ලක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසට චමින්ද වාස් ගේ නම සටහන් විය.
ශ්‍රී ලංකාව තැබූ ලෝක වාර්තා!
ශ්‍රී ලංකාව මෙම තරඟය ජයග්‍රහණය කළේ ලකුණු 172 ක දැවැන්ත ලකුණු පරතරයකිනි. මෙය වාර්තා වූයේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු වලින් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙසටය. මෙය 2019 වසරේ අගෝස්තු මස 29 වන දින රුමේනියාව විසින් තුර්කිය පරාජයට පත් කරමින් ලකුණු 173 ක ජයග්‍රහණයක් ලබා ගන්නා තෙක්ම නොබිඳී පැවතුනි. වර්තමානයේදී මෙම වාර්තාවේ හිමිකරුවන් වන්නේ චෙක් ජනරජය වේ. කෙසේ වෙතත් තවමත් ප්‍රධාන පෙළේ ක්‍රිකට් සාමාජික රටක් විස්සයි විස්ස තරඟයකදී ලකුණු අතින් ලබාගත් විශාලතම ජයග්‍රහණය ලෙසත් විස්සයි විස්ස ලෝක කුසලානයකදී ඕනෑම කණ්ඩායමක් ලකුණු අතින් ලබාගත් විශාලතම ජයග්‍රහණය ලෙසත් යන වාර්තා ද්විත්වයම මෙම තරඟ ජයග්‍රහණය සතුය.
මෙම ලකුණු 260 ලබා ගැනීම 2007 වර්ෂයේදී සටහන් වූයේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟ වලදී ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය. 2016 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවටම ලකුණු 263ක් වාර්තා කරගනිමින් එම වාර්තාව බිඳ හෙලන තුරු එය නොබිඳී පැවතුණි. වර්තමානයේදී එම වාර්තාවේ හිමිකාරිත්වය ලකුණු 278ක් අයර්ලන්තයට එරෙහිව ලබාගත් ඇෆ්ගනිස්තානයට හිමිය. කෙසේ වුවත් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක ලබාගත් ඉහළතම ලකුණු සංඛ්‍යාව යන වාර්තාව මෙම ලකුණු 260 තවමත් හිමි වේ.
ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී පළමුවෙන්ම පන්දුවට පහර දුන් කණ්ඩායම් වල ඉහළතම දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ලකුණු රැස්කළ ඉනිම ලෙසටද මෙය සටහන් වී ඇත. ශ්‍රී ලංකාව කෙන්යාවට එරෙහිව රැස් කළ මෙම ඉනිමේ පන්දුවාරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය 13ක් ලෙසින් සටහන් විය.
මේ ආකාරයෙන් වාර්තා රැසක් පිහිටවූ ශ්‍රී ලංකාවේ මංගල ලෝක කුසලාන තරඟයේ තරඟ සාරාංශය
ශ්‍රී ලංකාව 260-6 (20)
සනත් ජයසුරිය 88(44), මහේල ජයවර්ධන 65(27), ජෙහාන් මුබාරක් 46(13)*
ජිමී කමාන්ඩේ 48/3,
කෙන්යාව 88-10 (19.3)
ඇලෙක්ස් ඔබන්ඩා 21(25), ඩේවිඩ් ඔබූයා 18(33)
තිලකරත්න ඩිල්ශාන් 4/2, ලසිත් මාලිංග 13/2, චමින්ද වාස් 15/2
[/vc_column_text][/vc_column][/vc_row]