ශ්‍රී ලංකා කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දිනයේදී පැවැත්වීමට නියමිත වේ. මෙම තරඟය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් එකිනෙකා මුණ ගැසෙන 8 වෙනි ලෝක කුසලාන තරඟයයි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් මුණගැසී ඇති ප්‍රතිවාදියා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ සම්බන්ධයෙනි,

2009 තරඟාවලියේ දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දෙවන තරඟයට එක් වන විට කණ්ඩායම් ද්විත්වයම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා තිබූ අතර ප්‍රශ්නය වූයේ C කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් කවුරුන් තේරී පත් වනු ඇතැයිද යන්නයි. තරඟයේ මුළින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන් සහ සනත් ජයසුරිය යන දෙපළ සමත් විය. ඩිල්ශාන් විසින් පන්දු 47 කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 74ක් රැස් කළ අතර ජයසූරිය පන්දු 47 කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 81ක් රැස් කළේය. ඔවුන් දෙපළ පන්දුවාර 12.3 ක් තුළ ලකුණු 124 ක ආරම්භක කඩුලු සබඳතාවයක්ද පැවැත්වූයේය. මේ නිසාවෙන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 192 කි.

ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ආරම්භක කඩුල්ලට ලකුණු 38ක් රැස් කළද මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස් ගේ දඟ පන්දු යැවීමද මාලිංගගේ වේග පන්දුවද නිසා තරඟය ජයග්‍රහණය පහසු වූයේ නැත. ලකුණු 73 කට කඩුලු 4ක් බිඳ වැටුණු කොදෙව් ඉනිම නැවත ගොඩගැනීම උදෙසා ඩ්වේන් බ්‍රාවෝ විසින් තනි සටනක් දියත් කරමින් ලකුණු 51ක් රැස් කළද ඔහුගේ දැවී යාමෙන් පසුව කොදෙව් ජයග්‍රහණය සිහිනයක් බවට පත් විය. කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 177ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට ලකුණු 15 ක ජයග්‍රහණයක් හිමි වූයේ C කණ්ඩයේ ප්‍රථමයන් ලෙසින් සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගනිමිනි.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 192-5 (20)
සනත් ජයසූරිය 81(47), තිලකරත්න ඩිල්ශාන් 74(47)
ලෙන්ඩෙල් සිමන්ස් 19/4, ජෙරම් ටේලර් 32/1

බටහිර ඉන්දීය කොදෙව් 177-5 (20)
ඩ්වේන් බ්‍රාවෝ 51(38), ලෙන්ඩෙල් සිමන්ස් 29(19), රම්නේෂ් සර්වාන් 28(26)*
අජන්ත මෙන්ඩිස් 25/2, ලසිත් මාලිංග 45/2

2009 තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

දෙවන අවසන් පූර්ව වටයේ තරඟය ලෙසින් ශ්‍රී ලංකාවට මුණ ගැසුණේ පළමු වටයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන්ම වූ කොදෙව් දූපත් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් සහ ජයසූරිය ලකුණු 73ක් පළමු කඩුල්ලට එක් කළ නමුත් ජයසුරිය ගේ ඉනිම තරමක් මන්දගාමී විය. ඔහු පන්දු 37 කදී රැස් කළේ ලකුණු 24ක් පමණි. අනතුරුව සංගක්කාර ලකුණු නොලබා දැවී ගිය අතර මහේල ජයවර්ධන ලකුණු 2 කට දැවී ගියේ ලකුණු 73-0ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම 77-3ක් ලෙසට පත් කරමිනි. නමුත් අන්තයක කඩුලු බිඳ වැටෙද්දී එය නොසලකා හැරි තිලකරත්න ඩිල්ශාන් විසින් පන්දු 57 කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 96ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් දියත් කළේය.

එම ඉනිම සටහන් වූයේ එතෙක් ශ්‍රී ලාංකික පිතිකරුවෙක් විස්සයි විස්ස පිටියේදී රැස්කළ හොඳම ඉනිම ලෙසටය. ශ්‍රී ලංකාව මේ ඉනිම නිසාම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 158ක් රැස් කළේය. පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. ලකුණු 159 ක අවසන් මහා තරඟ බලාපොරොත්තුව හඹා යෑමට පැමිණි කොදෙව්වන්ට පළමු පන්දුවාරයේම නොසිතූ ඉරණමකට මුහුණ දෙන්නට සිදු විය. ඇන්ජලෝ මැතිව්ස් විසින් යැවූ පළමු පන්දුවාරයේදීම ක්ෂේවියර් මාර්ෂල්, ලෙන්ඩෙල් සිමන්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ යන තිදෙනාම දැවී ගියහ. පළමු පන්දුවාරය අවසන් වද්දී කොදෙව් ඉනිම සටහන් වූයේ එක ලකුණකට කඩුලු 3ක් වශයෙනි.

අසරණ වී ගිය කොදෙව් ඉනිම නැවත ගොඩනැගීමට ක්‍රිස් ගේල් සමගින් එක් වූ චන්ද්‍රපෝල් උත්සාහ කළත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත. හුදෙකලා සටනක නිරත වූ ගේල් කොදෙව් ඉනිම පුරාම නොදැවී ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් රැස් කළේය. වෙනත් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 10 සීමාවට ළඟා නොවූ අතර පන්දුවාර 17.4ක් තුළදී කොදෙව්වන් ලකුණු 101 කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 57 ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. ඒ අනුව දෙවන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 158-5 (20)
තිලකරත්න ඩිල්ශාන් 96(57)*, සනත් ජයසූරිය 24(37), ඇන්ජලෝ මැතිව්ස් 12(4)*
ඩ්වේන් බ්‍රාවෝ 32/2, කයිරන් පොලාඩ් 14/1

බටහිර ඉන්දීය කොදෙව් 101-10 (17.4)
ක්‍රිස් ගේල් 63(50)*, දිනේශ් රැම්ඩීන් 9(5)
ඇන්ජලෝ මැතිව්ස් 16/3, මුත්තයියා මුරලිදරන් 29/3, අජන්ත මෙන්ඩිස් 9/2

තරඟයේ වීරයා – තිලකරත්න ඩිල්ශාන්

2010 තරඟාවලියේ සුපිරි අට වටයේ පළමු තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

සුපිරි අට වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදියා බවට පත් වූයේ සත්කාරක කොදෙව්වන් ය. පිට පිටම තෙවන වතාවටත් ශ්‍රී ලංකාව මෙම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දෙන ලදී. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සනත් ජයසූරිය මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වද්දී දැවී යන විට පිටියේ ස්ථාවර වූ සංගා මහේල සුසංයෝගය කොදෙව් පන්දු යවන්නන් හට අමතක නොවන ප්‍රහාරයක් දියත් කළේය. ඔවුන් දෙදෙනා ලකුණු 166ක වාර්තාගත දෙවන කඩුලු සබඳතාවයක් පැවැත්විය. මෙහිදී සංගක්කාර විසින් පන්දු 49 කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 68ක් රැස් කරද්දී මහේල නැවත වතාවක් සාර්ථක වෙමින් පන්දු 56 කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 98ක් රැස් කළේය. ඔහුගේ පිට පිටම දෙවන විස්සයි විස්ස ශතකය මගහැරී ගියේ යන්තම් ලකුණු 2 කිනි. ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 195ක් රැස් කළේය.

ලකුණු 196 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන්ට නැවතත් සාර්ථක වීමට ඔවුන්ගේ ඉතිහාසගත අසාර්ථක වීම් දෙපළ වන අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග යන සුසංයෝගය ඉඩ ලබා දුන්නේ නැත. සංගා සහ මහේලගේ පිතිකරණ දක්ෂතාවයට පන්දුවෙන් සාධාරණය ඉටු කළ මාලිංග මෙන්ඩිස් සුසංයෝගය කොදෙව් කඩුලු 6ක් සමසේ බෙදා ගැනීමට සමත් විය. මේ නිසාවෙන්ම කොදෙව් ඉනිම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 138ක් ලෙසින් සටහන් වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 57 ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 195-3 (20)
මහේල ජයවර්ධන 98(54)*, කුමාර් සංගක්කාර 68(49)
කෙමාර් රෝච් 27/2, ඩ්වේන් බ්‍රාවෝ 36/1

බටහිර ඉන්දීය කොදෙව් 138-8 (20)
රම්නරේෂ් සර්වාන් 28(33), ඩ්වේන් බ්‍රාවෝ 23(23)
අජන්ත මෙන්ඩිස් 24/3, ලසිත් මාලිංග 28/3

තරඟයේ වීරයා – මහේල ජයවර්ධන

2012 තරඟාවලියේ සුපිරි 8 වටයේ දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

ශ්‍රී ලංකාව සුපිරි 8 වටයේදී නැවතත් කොදෙව්වන් මුණ ගැසුණි. මීට ප්‍රථම 2009 සහ 2010 වසර වලදී තෙවතාවක් කොදෙව්වන් සමග ශ්‍රී ලංකාව තරඟ වැදුණ අතර ඉන් සියලුම තරඟ වල ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වී තිබුණි. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ කොදෙව් කණ්ඩායමයි. ආරම්භ පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් සහ ජොන්සන් චාල්ස් යන දෙපළම ලකුණු 16ක් වද්දී පිටියෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව කඩුල්ලේ ස්ථාවර වූ මාලන් සැමුවෙල්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ තෙවන කඩුල්ලට ලකුණු 65ක් එක් කළහ. නමුත් එය වේගවත් දළ ලකුණු වේගයක් කරා ගමන් නොකළේ කොදෙව් ආරම්භය ඉතාමත් මන්දගාමී වූ බැවිනි. මේ නිසාවෙන්ම ඉනිමේ අග භාගයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කිරීමට ඔවුන්ට හැකි නොවූ අතර කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 129ක් රැස් කළේය. මාලන් සැමුවෙල්ස් ලකුණු 50ක් රැස් කළ අතර නැවතත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අජන්ත මෙන්ඩිස් තම පන්දුවාර 4 තුළදී කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 12ක් පමණක් ලබාදෙමිනි.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙසින් තිලකරත්න ඩිල්ශාන් ලකුණු 13 කට දැවී ගියේය. ඉන් අනතුරුව කඩුල්ලේ ස්ථාවර වූ සංගා මහේල සුසංයෝගය නැවතත් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන එන ලදී. ඔවුන් දෙපළ විසින් දෙවන කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 108ක් එක් කළේ පන්දුවාර 15.2 ක් තුළදී ලකුණු 130 ක ඉලක්කය පහසුවෙන්ම සම්පූර්ණ කරමිනි. මහේල පන්දු 49 කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක්ද සමගින් නොදැවී ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය. මේ ජයග්‍රහණයත් සමගම සුපිරි අට වටයේ තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ ස්ථානය වෙන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එය පිට පිටම ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වට සඳහා සුදුසුකම් ලැබූ තෙවන අවස්ථාව ලෙසින් සටහන් විය.

තරඟ සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් 129-5 (20)
මාලන් සැමුවෙල්ස් 50(35), ඩ්වේන් බ්‍රාවෝ 40(34)
අජන්ත මෙන්ඩිස් 12/2, ජීවන් මෙන්ඩිස් 12/1

ශ්‍රී ලංකාව 130-1 (15.2)
මහේල ජයවර්ධන 65(49)*, කුමාර් සංගක්කාර 39(34)*
රවී රාම්පෝල් 39/1

තරඟයේ වීරයා – මහේල ජයවර්ධන

2012 තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට එක් වී සිටියහ. මීට ප්‍රථමව දෙපිල විසින් මුණ ගැසුණ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ සියල්ලේම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු විය. සත්කාරක වාසියද සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට එක් වූ අතරම කොදෙව්වන් මුළින්ම පන්දුවට පහර දෙන ලදී. ශ්‍රී ලංකාව තරඟයට සුපිරි ආරම්භයක් ලබා ගත් අතර කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙපළ වූ ජොන්සන් චාල්ස් සහ ක්‍රිස් ගේල් නැවතත් අසාර්ථක විය. කොදෙව්වන් Powerplay අවස්ථාව තුළදී කඩුලු 2ක් දැවී රැස් කළේ ලකුණු 14ක් පමණි. ඩ්වේන් බ්‍රාවෝ සහ මාලන් සැමුවෙල්ස් තෙවන කඩුල්ලට ලකුණු 59ක් එක් කළ අතර බ්‍රාවෝ දැවී යද්දී කොදෙව්වන් පන්දුවාර 14 කට කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබාගෙන සිටියේය. අනතුරුව කයිරන් පොලාඩ් සහ ඇන්ඩ්‍රේ රසල් ද දැවී ගියේ කොදෙව් ඉනිම කඩුලු 5ක් බිඳ වැටී ලකුණු 87ක් ලෙසින් අසරණ තත්ත්වයකට ඇද දමමිනි.

නමුත් මුළ සිටම අන්තයක් ආරක්ෂා කරගනිමින් අගනා ඉනිමක් දියත් කළ මාලන් සැමුවෙල්ස් විසින් පන්දු 56 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් ද සමගින් ලකුණු 78ක් රැස් කළේය. ඉනිමේ අවසන් භාගයේදී තවත් වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් නායක ඩැරන් සැමී විසින් පන්දු 15 කින් නොදැවී ලකුණු 26ක් රැස්කළ අතර මේ නිසාම කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී සටන්කාමී ලකුණු 137 ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. පන්දු යැවීමේදී තරඟාවලිය පුරාවටම සාර්ථක වූ ලසිත් මාලිංග දරුණු ප්‍රහාරයකට නතු වූ අතර ඔහුගේ පන්දුවාර 4 තුළ ලකුණු 54ක් රැස් කිරීමට කොදෙව්වන්ට හැකි විය. අවසන් මහා තරඟයේදීත් තම වගකීම මනාව ඉටු කළ අජන්ත මෙන්ඩිස් විසින් ලකුණු 12 කට කඩුලු 4ක් බිඳ හෙලමින් විශිෂ්ට පන්දු යැවීමක් සටහන් කළේය.

ලෝක ශූරයන් වීමට ලකුණු 138 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් තිලකරත්න ඩිල්ශාන් දෙවන පන්දුවාරයේදී ලකුණු නොලබාම දැවී ගියේය. නමුත් පිටියේ ස්ථාවර වෙමින් සංගා මහේල සුසංයෝගය නැවතත් දෙවන කඩුල්ලට ලකුණු 42ක් එක් කළද සංගාගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. ලකුණු 48 කට එක් කඩුල්ලක් වූ ඉනිමේ මීළඟ කඩුලු 6 ම ලකුණු 21ක් තුළ දැවී ගියේ ශ්‍රී ලංකාව ලකුණු 69 කට කඩුලු 7ක් ලෙසින් දැඩි අසීරුතාවයකට පත් කරමිනි. ඉනිමේ අවසාන භාගයේදී නුවන් කුලසේකර විසින් පන්දු 13 කින් ලකුණු 26 ක වේගවත් ඉනිමක් දියත් කළද එය තරඟයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. සුපිරි පන්දු යැවීමක නිරත වූ සුනිල් නාරයන් විසින් පන්දුවාර 3.4 කදී ලකුණු 9 කට කඩුලු 3ක් බිඳ හෙලන ලදී. ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 18.4 ක් තුළ සියල්ලම දැවී ලකුණු 101ක් ලෙසින් සටහන් වූයේ කොදෙව්වන්ට ලකුණු 36 ක ජයග්‍රහණයක් ලබා දෙමිනි. ශ්‍රී ලංකාවට දෙවන වතාවටත් විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු කරමින් 2012 ලෝක කුසලානය නිමාවට පත් විය.

තරඟ සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් 137-6 (20)
මාලන් සැමුවෙල්ස් 78(56), ඩැරන් සැමී 26(15)*, ඩ්වේන් බ්‍රාවෝ 19(19)
අජන්ත මෙන්ඩිස් 12/4, ඇන්ජලෝ මැතිව්ස් 11/1, අකිල ධනංජය 16/1

ශ්‍රී ලංකාව 101-10 (18.4)
මහේල ජයවර්ධන 33(36), නුවන් කුලසේකර 26(13), කුමාර් සංගක්කාර 22(26)
සුනිල් නාරයන් 9/3, ඩැරන් සැමී 6/2, මාලන් සැමුවෙල්ස් 15/1

තරඟයේ වීරයා – මාලන් සැමුවෙල්ස්

2014 තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

නැවත වතාවක් ශ්‍රී ලංකාවට කොදෙව්වන් අවසන් පූර්ව වටයේදී හමු විය. 2009 අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කළ පාකිස්තානය 2012 අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වූ අතරම ඒ ආකාරයෙන්ම 2012 අවසන් මහා තරඟයේ වාඩුව 2014 දී ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී තිබුණි. මෙම තරඟයේදීත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දුන්නේය. කුසල් පෙරේරා සහ තිලකරත්න ඩිල්ශාන් ආරම්භක කඩුල්ලට වේගවත් ලකුණු 41ක් එක් කළ අතර ඉන් අනතුරුව අනපේක්ෂිත ලෙසින් මහේල සහ සංගා දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 49-3ක් ලෙසින් සටහන් විය. අනතුරුව වටිනා ඉනිමක් දියත් කළ ලහිරු තිරිමාන්න ලකුණු 44ක් රැස් කරද්දී ඉනිමේ අග භාගයේදී වේගවත් වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ද සමගින් ලකුණු 40ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 160ක් දක්වා ඉහළ දමමිනි. පන්දු යැවීමේදී ක්‍රිෂ්මර් සැන්ටොකී කඩුලු 2ක් බිඳ හෙලුවේය.

ලකුණු 161 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට ආ කොදෙව්වන්ගේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු 3 කට දවා ගැනීමට ලසිත් මාලිංගට හැකි විය. අනතුරුව කොදෙව් තවත් කඩුලු 2ක් දැවී ගියේ ලකුණු 34 කට කඩුලු 3ක් ලෙසින් කොදෙව් ඉනිම සටහන් කරමිනි. අනතුරුව මාලන් සැමුවෙල්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ විසින් 4 කඩුල්ලට ලකුණු 43ක් එක් කළද ඔවුන්ට ප්‍රවේගකාරී වීමට ඉඩ නොදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඔවුන්ව නවතාගෙන සිටින ලදී. පන්දුවාර 13.5ක් අවසන් වද්දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට කොදෙව්වන් කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය. ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් පන්දු 37 කින් ලකුණු 81ක් අවශ්‍ය විය. නැවත තරඟය ආරම්භ කළ නොහැකි ආකාරයටම වර්ෂාව ඇද හැලුන බැවින් ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකාව පිට පිටම දෙවන වතාවටත් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයකට එක් වූ අතරම අවසන් මහා තරඟ 3 කට එක් වූ ලොව පළමු රට බවටද ශ්‍රී ලංකාව පත්විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 160-6 (20)
ලහිරු තිරිමාන්න 44(35), ඇන්ජලෝ මැතිව්ස් 40(23), තිලකරත්න ඩිල්ශාන් 39(39)
ක්‍රිෂ්මර් සැන්ටොකී 46/2, සැමුවෙල් බද්‍රී 23/1

බටහිර ඉන්දීය කොදෙව් 80-4 (13.5)
ඩ්වේන් බ්‍රාවෝ 30(19), මාලන් සැමුවෙල්ස් 18(29)*
ලසිත් මාලිංග 5/2, සීක්කුගේ ප්‍රසන්න 15/1

තරඟයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්

2016 තරඟාවලියේ දෙවන තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග

ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී වැඩිම වතාවක් හමුවී තිබෙන ප්‍රතිවාදියා වන කොදෙව්වන් නැවතත් ශ්‍රී ලංකාවට මුණ ගැසුණි. ශ්‍රී ලංකාව තරඟයේ මුළින්ම පන්දුවට පහර දෙන ලදී. ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වූ සාර්ථක ආරම්භය ලබා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. සැමුවෙල් බද්‍රී ඇතුළු කොදෙව් පන්දු යවන බලඇණිය විසින් ශ්‍රී ලංකා මුල් කඩුලු 5 ලකුණු 47ක් තුළ දවා ගත්තේ තරඟය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ යටතට ගනිමිනි. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මොහොතේදී සටන්කාමී ඉනිමක් දියත් කළ තිසර පෙරේරා විසින් පන්දු 29 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක්ද සමගින් රැස්කළ ලකුණු 40 නිසාවෙන්ම ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 122ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සැමුවෙල් බද්‍රී විසින් පන්දුවාර 4 තුළ ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙලුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි කොදෙව්වන් හට ඉලක්කය එතරම් පහසු වූයේ නැත. අවශ්‍යම මොහොතේදී කොදෙව් කඩුලු දවා ගනිමින් පීඩනය එල්ල කිරීමට ජෙෆ්රි වැන්ඩසේ සමත් වූවත් ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් විසින් තරඟය කොදෙව් සීමාව වෙත තනිව රැගෙන එන ආකාරය දක්නට ලැබුණි. වැන්ඩසේ විසින් පන්දුවාර 4 තුළදී එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 11 කට කඩුල්ලක් බිඳ හෙලීමට සමත් විය. නමුත් ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් විසින් පන්දු 64 කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ද සමගින් නොදැවී රැස්කළ ලකුණු 84 ක ඉනිම තරඟය ශ්‍රී ලංකාවෙන් දුරස් කළේය. කොදෙව්වන් පන්දුවාර 18.2 ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉළක්කය පසු කිරීමට සමත් විය.

තරඟ සාරාංශය

ශ්‍රී ලංකාව 122-9 (20)
තිසර පෙරේරා 40(29), ඇන්ජලෝ මැතිව්ස් 20(32)
සැමුවෙල් බද්‍රී 12/3, ඩ්වේන් බ්‍රාවෝ 20/2

බටහිර ඉන්දීය කොදෙව් 127-3 (18.2)
ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර් 84(65)*, ඇන්ඩ්‍රේ රසල් 20(8)*
මිලින්ද සිරිවර්ධන 33/2, ජෙෆ්රි වැන්ඩසේ 11/1

තරඟයේ වීරයා – ඇන්ඩ්‍රේ ෆ්ලෙක්චර්
6. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව

තරඟ – 7
ශ්‍රී ලංකා ජයග්‍රහණ – 5
කොදෙව් ජයග්‍රහණ – 2
ශ්‍රී ලංකා ජයග්‍රාහී ප්‍රතිශතය – 71.42%
කොදෙව් ජයග්‍රාහී ප්‍රතිශතය – 29.58%
ඉනිමක ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 151.14
ඉනිමක ලකුණු සාමාන්‍ය කොදෙව් – 127
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 7.89
පන්දුවාරයකට ලකුණු සාමාන්‍ය කොදෙව් – 6.84
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය ශ්‍රී ලංකාව – 27.12
කඩුල්ලකට ලකුණු සාමාන්‍ය කොදෙව් – 21.68[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top