ශ්‍රී ලංකා ගෞරවය රැක ගැනීමට අද කොදෙව් පිල සමග ගැටෙයි

[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන වල කොදෙව්වන් හමුවේ සාර්ථක දස්කම් දක්වා තිබෙනවා. අද තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියෙන් ඉවත්ව තිබීම නිසාවෙන් මම තරඟය තම ගෞරවය රැක ගැනීම උදෙසා සටන් වදින විට කොදෙව්වන් මෙම තරඟය පරාජයට පත් වුවහොත් නියත වශයෙන්ම තරඟාවලියෙන් ඉවත් වනවා. මේ නිසාවෙන්ම අද දිනයේදී තියුණු තරඟයක් දැකගත හැකිවනු ඇති,

පිතිකරණ අංශය

කොදෙව්වන්ගේ පිතිකරණ බලඇණිය නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයන් රැසකින් සමන්විත වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට වඩා විස්සයි විස්ස පිටිය තුළ අත්දැකීම් බහුල පිතිකරුවන් කොදෙව්වන් සතුව ඇති බවට පැවසීමට පුලුවන්. විශේෂයෙන්ම කොදෙව්වන් සතුව වේගයෙන් පන්දුවට පහර දීමට හැකි පිතිකරුවන් රැසක් සිටිනවා. ඔවුන්ට මෙම තරඟාවලිය පුරාවටම විශේෂ දස්කම් දැක්වීමට නොහැකි වූ නිසාවෙන්ම ශ්‍රී ලංකාවද ඔවුන්ව යම්කිසි සීමාවක තබා ගැනීම වැදගත්.

කොදෙව් පිතිකරණ බලඇණිය නවතාලීමට එංගලන්තය විසින් පිටිය සැකසූ ආකාරය දෙස බලද්දී ඔවුන්ව දඟ පන්දු යවන්නන් ට එරෙහිව පහර එල්ල කරවීමට යැවීමෙන් කඩුලු ලබාගත් බව පැවසීමට හැකියි. ආරම්භක පිතිකරු එවින් ලුවිස් සහ නිකලස් පූරාන් හැරුණ විට වෙනත් පිතිකරුවෙක් තරඟාවලියේ සැලකිය යුතු දස්කම් පෙන්වූයේ නෑ. අනෙක් පිතිකරුවන් අතරිනුත් කයිරන් පොලාඩ්, ඇන්ඩ්‍රේ රසල් යන අය කෙරෙහි මෙන්ම තවමත් තමන්ගේ රිද්මය සොයමින් සිට්නා ක්‍රිස් ගේල් කෙරෙහිද ශ්‍රී ලංකාව සැලකිලිමත් විය යුතුයි. තරඟයේ වඩාත්ම අවධානය දිනාගත යුතු ක්‍රීඩකයා වන්නේ ජේසන් හෝල්ඩර් ය. ඔහු මේ වන විට හොඳ රිද්මයක පසුවන අතරම පසුගිය බංග්ලාදේශ තරඟයේදීද තුන් ඉරියව්වෙන්ම කොදෙව්වන් වෙනුවෙන් සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළා.

ශ්‍රී ලංකාව දෙසින් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා දිගින් දිගටම අසාර්ථක වීම ප්‍රභල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම මැදෙපළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගේ රිද්මය ගිළිහී යාමද ප්‍රශ්නයක්. පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන්ගෙන් අවශ්‍ය දායකත්වය ලැබෙන නිසාවෙන්ම කුසල් හෝ අවිශ්ක ගේ සාර්ථකත්වය ලැබීම අනිවාර්ය කාරණයක් බවට පත් වනවා. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකාව එම වරද නිවැරදි කර ගැනීම කළ යුතුමයි. අසලංක, නිස්සංක සහ භානුක මෙම තරඟාවලිය හොඳින් නිමා කරමින් ඉදිරි විස්සයි විස්ස තරඟාවලි කෙරෙහිද තම අවධානය යොමු කිරීම වටිනවා.

පන්දු යැවීමේ අංශය

පන්දු යැවීමේ අංශය ගත්කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් පන්දු යැවීමේ බලඇණියට වඩා සෑහෙන ඉදිරියෙන් පසු වනවා. විශේෂයෙන්ම දඟ පන්දු යැවීමට කොදෙව්වන් හට අකීල් හොසේන් පමණක් සිටින අතර ශ්‍රී ලංකාව සතුව වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සිටිනවා. ලොව අංක 1 විස්සයි විස්ස පන්දු යවන්නා වනිඳු හසරංග මුල්ම වතාවට පිටියට පිවිසීමට නියමිත වනවා. ඒ නිසාවෙන්ම තරඟාවලිය එම රිද්මයෙන්ම අවසන් කිරීම වනිඳුට වැදගත් වනවා ඇති.

වේග පන්දු යවන්නන් ගත් විට ශ්‍රී ලංකාව දෙසින් දුෂ්මන්ත චමීර හොඳ රිද්මයක පසු වනවා. බොහෝ විට ළහිරු කුමාර මෙම තරඟය ක්‍රීඩා නොකරයි නම් ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකියි. ළහිරු ක්‍රීඩා කරන්නේ නම් ගිලිහී ගිය රිද්මය සහ විශ්වාසය මෙම තරඟයෙන් ලබාගෙන සාර්ථක අවසානයක් තුළින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔහු කටයුතු කිරීම වැදගත් වනවා. කොදෙව් දූපත් හි සිටිනා අත්දැකීම් බහුලම වේග පන්දු යවන්නා වන ඩ්වේන් බ්‍රාවෝ ශ්‍රී ලංකාවට විශාලතම තර්ජනයක් විය හැකි ක්‍රීඩකයායි. ඔහු අවසන් පන්දුවාර වලදී පන්දු යවන ආකාරය තේරුම් ගනිමින් ශ්‍රී ලංකාව පන්දුවට පහර දිය යුතුයි.

මීට අමතරව ජේසන් හෝල්ඩර් මෙන්ම මැදපෙරදිග පිටි වල අත්දැකීම් බහුල ඇන්ඩ්‍රේ රසල් කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. ඔවුන්ගේ පන්දු යැවීම් ඉරියව් මෙන්ම විශේෂයෙන්ම කොදෙව් පන්දු යවන්නන් සිදු කරනා වේගය අඩාල කර යොමු කරන පන්දු තෝරා බේරාගෙන පහර දීම වැදගත් කාරණයක්.

පිටියේ තත්ත්වය

තරඟය පවත්වන අබුඩාබි ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව තරඟ වදිනා තුන්වන තරඟය වන්නේ මෙයයි. මීට ප්‍රථමව අබුඩාබි හීදී නැමිබියාව සහ අයර්ලන්තය සමග පැවති තරඟ වලට ශ්‍රී ලංකාව එක් වුණා. එම තරඟ ද්විත්වයේම ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි වුණා. විශේෂයෙන්ම මෙම පිටියත් මන්දගාමී අයුරින් හැසිරෙන තණතීරුවක් ඇති එකක් ලෙසින් සටහන් කරන්නට පුලුවන්. මේ නිසාවෙන් තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන නායකයා ප්‍රථමයෙන් පන්දු යැවිය හැකි බවට විශ්වාස කළ හැකි වනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top