[vc_row][vc_column][vc_column_text]දෙවැනි වතාවට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ඉහළ පෙළේ ක්‍රීඩකයින් ක්‍රීඩකයින් කීප දෙනෙකු කණ්ඩායම් වලට ඇතුළත් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයන් කටයුතු නොකිරීම, කැලැඹිලි සහගත තත්ත්වයක් මතු කරවන්නක් බවට පත්ව තිබේ. තෝරා නොගැණුණු ක්‍රීඩකයින් අතරට හිටපු නායකයින් දෙදෙනකු වන කුසල් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද ඒ අතර සිටීම වඩාත් පුදුමය දනවන කරුණක් විය. ඔවුන්ට අමතරව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ඇතුළත්ව සිටි මිනෝද් භානුක, ප්‍රවීන් ජයවික්‍රම, ඇතුළු තවත් ප්‍රධාන කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් කීප දෙනෙකුද ඒ අතර වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන මේ පිළිබඳව නොසතුට පළ කිරීම එම තත්ත්වය තවත් තීව්ර වීමට හේතුවක් විය. තත්ත්වය වටහා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව වහා අවධානය යොමු කොට තෝරා නොගැණුනු ක්‍රීඩකයින් 10 දෙනෙකු කණ්ඩායම් වලට බඳවා ගන්නා ලෙස කණ්ඩායම් හිමිකාරීත්වයන්ට දැනුම් දී සිටීමද පැසසුමට ලක් කළ යුතුය.ඒ අනුව 20 කට සීමා වුණු ක්‍රීඩකයින් සංඛ්‍යාව 22 දක්වා වැඩි කෙරිණ.
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත තරුණ ක්‍රීඩකයින්ට වැඩි තරග අත්දැකීමක් ලබා දීම අරමුණු කොට සංවිධානය කෙරුණු පළමු තරගාවලියේදී හෝ සිදු නොවූ දෙයක් දෙවැනි තරගාවලියේදී සිදුවීම කණගාටුදායකය. එබැවින් මෙයට හේතුව කුමක්ද යන්න ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීම මාධ්‍යයක වගකීම වන බැවින් මේ පිළිබඳව සත්‍යම තත්ත්වය සොයා යෑමට අප තීරණය කළෙමු.
පළමු තරගාවලියේදී නොවුණු දෙයක් දෙවැනි තරගාවලියේදී සිදුවීම පිටුපස කොහේ හෝ වැරදීමක් සිදුවන්නට ඇත. ඇත්තටම එය එසේමය.
පළමු තරගාවලිය සඳහා ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් ඇතුළත් කරන ලද්දේ තේරීම් කමිටු බලධාරීන් සමඟ එක්වූ අධි කාර්ය සාධන මධ්‍යස්ථාන පුහුණු කරුවන්ය, නැතහොත් පළාත් සහ දිස්ත්‍රික් පුහුණු කරුවන්ය. වැඩේ හරියට කෙරුණේය. හොඳම ක්‍රීඩකයින් 100 තෝරා ගනු ලැබුවේ එසේය. එහෙත් මෙවර තරගාවලිය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙවර එය ආඬි හත් දෙනාගේ කැඳ හැළිය බවට පත්ව තිබේ. ඒ තරමට උපදෙස්ය. ඒ උපදෙස් දෙන්නන්ගෙන් එක් අයෙකු කී විදියට කිරීමට යෑම මෙකී ව්යාකූග ඇති කරවන්නට හේතු වී තිබේ.
ගියවර තේරීම් කමිටුව පිළිවෙළකට කළ වැඩේ, මේ වර කළේ ක්‍රීඩා සමාජයන්ය. ඒ ඉහළින් දුන් උපදෙස් අනුවය. ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් නම් කර එවන ලෙස දැනුම් දී ඇත්තේ ක්‍රීඩා සමාජවලටය. ඒ ඔවුන් කැමැති ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 20 දෙනා බැගිනි. ජ්‍යෙෂ්ඨයින් පසෙකලා ක්‍රිකට් ක්‍රීඩා කළද වැඩකට නැතැයි කියන කලුතර නාගරික ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සහ ක්‍රීඩකයකු ලෙසින් කටයුතු කරන ගිහාන් රූපසිංහලා කණ්ඩායම් වලට රිංගා ගන්නේ ඒ හරහාය. ගිය වර 120 ක් පමණ වූ දේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 356 ක් දක්වා වැඩි වෙන්නේ ඒ හරහාය.
එසේ උපදෙස් දුන් පිරිස් ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී දැන් කිඹුල් කඳුළු සලන්නේ සැබැවින්ම ක්‍රීඩකයින් තුළ හද පත්ලෙන්ම එන ආදරයට ද යන්න කුකුසක් දනවන්නකි. සඳහන් වන ආකාරයට උක්ත කරුණ පාදක කර ගනිමින් තරගාවලිය නතර කිරීමට තවත් පිරිසක් උත්සාහයක නිරත බවද කියැවෙයි. කරුණු කාරණා එවන් භයානක තත්ත්වයකට පත්ව තිබෙද්දී ඉන් හෙම්බත් වන්නේ තරුණ ක්‍රීඩකයින්ය. පළමු වතාවට එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට සිහින දැක සිටින ක්‍රීඩකයින්ට කිසිත් නැතිව අත පිස දා ගැනීමට සිදුවන්නේය.
ක්‍රීඩක කෙටුම්පතට නම් 1000 කට වඩා යන්නේ ඒ හරහාය. කණ්ඩායම් හිමිකාරීත්වය විසින් සිදුකරනු ලබන්නේ ඔවුන්ට අවශ්‍ය සංයුතිය තෝරා ගැනීමය. ඕනෑවටත් වඩා ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේදී සිටීම, සිදුවන අතුරු ප්රතිඵලයන් මේවා බව කිඹුල් කඳුලු හැළීමට පෙර සිතා බැලිය යුතුය.
මේ ආකාරයේ මහා පරිමාණ තරගාවලි සූදානම් කිරීමේදී අදාළ ක්‍රිකට් ආයතනය විසින් තෝරා පත් කර ගන්නා ලද ආයතනයකට භාර දීමෙන් පසු නැවත ඇඟිලි ගැසීම් සිදුවීමක් නොවනු ඇත. තරගාවලිය සංවිධානය කරනු ලබන ආයතනයෙන් කවුරුන් කණ්ඩායමක් මිලදී ගැනීමෙන් පසු එම කණ්ඩායමේ කටයුතු වලට සම්බන්ධ වීමේ අයිතියක් ලොව කිසිම ආයතනයකට නොමැත. එහෙත් ගනු ලැබූ අවඥාන තීරණය හේතුවෙන් ක්‍රීඩක තේරීමට නැවතත් මැදිහත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ක්‍රීඩකයින් 22 ක් ලෙසින් පුළුල් වෙන්නේ එම මැදිහත්වීම හරහාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනා ගෙන බැලුවද ඔවුහු දක්ෂතා අතර සිටින්නේද යන්න දෙවරක් සිතා බැලිය යුතුවේ. පරදින්න කවුරුත් අකමැතිය. කවුරු කළත් උපරිම උත්සාහය වන්නේ දිනන අශ්වයින් ලබා ගැනීමටය. ඇන්ජලෝ මැතිව්ස් ගෙන බැලීමේදී ඔහු අවසන් මාස කීපයේදීම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. කුසල් පෙරේරා යනු ආබාධිත ලැයිස්තුවේ සිටින්නෙකි. ලෝක කුසලාන තරගාවලියට ඔහු ක්‍රීඩා කළේද උරහිසේ ආබාධය තබාගෙනය. පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මත කුසල්ව කණ්ඩායමට ක්‍රීඩා කෙරෙව්වද පිතිකරණයෙන් පමණක් නොව කඩුලු රැකීමෙන්ද දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කළේ උඩ පන්දු 3 ක්ද බිම දමමිනි. ඒ උඩ පන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 ට යෑමට තිබූ පහසුම අවස්ථාව අහිමි කරවන්නක් තරමටම බලපෑවේය.
චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය ගත්තද ඒ කතාවමය. ඔවුන් තිදෙනා ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කළේ ඇයිද යන්න විටෙක ප්‍රශ්න සහගත විය. ඒ තරමටම ඔවුන් තුළ ක්‍රීඩා කිරීමේදී රඳවා ගත යුතු රිද්මය ගිලිහී ගොස් තිබෙන නිසාය. අවසන් මාස කීපයේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ට නියම වටිනා කම ලබා දීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබේ. චරිත් අසලංක, සුවිශේෂී කාණ්ඩයට එන්නේ ඒ හරහාය. චාමික කරුණාරත්න රන් කාණ්ඩයට පැමිණෙන්නේ ඒ හරහාය. මේ කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙර සඳහන් කළ පරිදි පරදින අශ්වයින් ට වියදම් කිරීමට පෙළැඹෙන්නේ නම් ඔවුන් ‘පිස්සන්’ම විය යුතුය.[/vc_column_text][/vc_column][/vc_row]