පබසර සහ ලක්ෂාන් ගාල්ලට පෙරැළිකාර ජයක් ගෙනෙති

[vc_row][vc_column][vc_column_text]ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පබසර වඩුගේ නොදැවී 92 ක් සහ ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 70 ක් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100කදී කඩනමින් රැස් කරන ද ලකුණු 165ක සම්බන්ධතාව හේතුවෙන් ජැෆ්නා කණ්ඩායමට එරෙහිව කඩුලු  8 ක පහසු ජයක් වාර්තා කිරීමට ‍ගෝල් කණ්ඩායම අද (13 දා) සමත්විණ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගයේදී අද පැවැත්වුණු මේ තරගයේදී ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 46කදී කඩුලු පහකට ලකුණු 272ක් ලබා සිටියදී අයහපත් කාලගුණය මත තරගය නතර කිරීමෙන් පසු නැවත තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් ක්‍රමයට ගාල්ලට පන්දුවාර 25කදී ලකුණු 197ක් ලබා ජය ගැනීමේ අභියෝගය මතය.

අභියෝගය පිළිගනිමින් පිටියට පිවිසි ගාල්ල ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 70කදී හතරේ දහයක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 92ක්ද අංක හතර පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 44කදී හතරේ 11ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 70ක්ද රැස්කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේ තවත් පන්දු 21ක් සහ කඩුලු අටක් ඉතිරිව තිබියදීය. ඒ සමඟම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා ජැෆ්නා, ගෝල් සහ කලම්බු කණඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.

මේ පිතිකරුවන් ගාල්ල කණ්ඩායම මේ පෙරළිකාර ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන ගියේ පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 9.16ක වේගයක් සමඟිනි.

ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේදීද නායක ධනංජය ද සිල්වා මෙවර තරගාවලියේ දෙවැනි ශතක වාර්තා කිරීමට සමත්විය. පන්දු 106කට මුහුණ දුන් ධනංජය හතරේ 11 ක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවී ලකුණු 109 ක් රැස් කළේය. ධනංජය ද සිල්වා මේ තරගාවලියේදී ඉනිම හතකදී ලකුණු 382ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 63.66ක් වන පරිදිය. ඔහු දැනට ශතක දෙකක් මෙන්ම අර්ධ ශතක දෙකක්ද ලබා සිටී.

කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම ජැෆ්නා කණ්ඩායමට පැවරීය. කඩුලු පහකට ජැෆ්නා කණ්ඩායම ලබාගත් ලකුණු 272ක සංඛ්‍යාව පන්දුවාරයකට 5.91ක් වැනි ඉහළ මට්ටමක පැවැතිණි.

ජැෆ්නා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරායාමට දීර්ඝ සබඳතා තුනක්ම දායක විණි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ළහිරු තිරිමාන්න සහ සධීර සමරවික්‍රම ප්‍රථම කඩුල්ලට පන්දු 72කදී රැස්කළ ලකුණු 55 ක්, තෙවන කඩුල්ලට ධනංජය ද සිල්වා සහ ළහිරු තිරිමාන්න පන්දු 100කදී රැස්කළ ලකුණු 100ත් සහ සිව්වැනි කඩුල්ලට ධනංජය ද සිල්වා දුනිත් වෙල්ලාලගේ පන්දු 76කදී රැස්කළ ලකුණු 76ත් එම සබඳතාවන් විය.

ධනංජයට අමතරව ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න පන්දු 79කදී හතරේ අටක් හයේ පහරක් සමඟ ලකුණු 85ක් සහ දුනිත් වෙල්ලාලගේ පන්දු 35කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 23ක්ද රැස්කළහ.

කොදෙව් දූපත්හි නොබෝදා පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් දුනිත් වෙල්ලාලගේ මෙදින ජැෆ්නා නියෝජනය කරමින් ලකුණු අතරට පැමිණීමද විශේෂත්වයකි.

ලකුණු පුවරුව

ජැෆ්නා පන්දුවාර 46කදී කඩුලු 5ට 272 යි – (ධනංජය ද සිල්වා නොදැවී 109, ළහිරු තිරිමාන්න 85, සධීර සමරවික්‍රම 23, දුනිත් වෙල්ලාලගේ 23, අකිල ධනංජය 51/2යි, චලන ද සිල්වා 41/1යි, නිමේෂ් විමුක්ති 41/1)

ගාල්ල පන්දුවාර 21.3කදී කඩුලු 2ට 197යි – (පබසර වඩුගේ නොදැවී 92, ධනංජය ලක්ෂාන් නොදැවී 70, ධනංජය ද සිල්වා 42/1, ප්‍රමෝද් මධුෂාන් 48/1)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top