රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යයි.

[vc_row][vc_column][vc_column_text]අපි තරුණයා හදන්න අවශ්‍ය වෙන්නේ ස්වොත්සහයෙන් නැඟී සිටින්නයි. රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යයි.  රටක් ජාතියක් ලෙස නැගීසිටින්න නම් අපි ඒ ආකල්පමය වෙනස ඇති කරගත යුතුයි’ යැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසූයේ පසුගිය  (02) දා  ජාතික තරුණ සේවා සභාවේ පැවති නව සභාපතිතුමන්ගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

නව සභාපති තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කළ ආචාර්ය තිරාන් ද සිල්වා මැතිතුමාටත් එතුමා සමග වැඩ කටයුතු සිදු කරන අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු සියලුම නිළධාරී මහත්ම මහත්මීන්ටත් ඒ හා බැදුනු යෞවුන් පාර්ලිමේන්තුවටත්, යෞවන සම්මේලනයටත්, දිස්ත්‍රික් මට්ටමින් අප හා බැදුනු සියලුදෙනාටම මේ රටේ තාරුණ්‍ය වෙනු‍වෙන් සුවිශේෂී මෙහෙවරක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා යි කියා මම සුබ ප්‍රාර්ථනා කරනවා.

ඔබ යා යුතු මාර්ගය තෝරාගන්න. හොද මාර්ගයේ යන්න මෙතෙක් අතීතයේ සිදු වූ හැම හොඳක්ම ගන්න. අතීතය ආවර්ජනය කර අතීතයේ සිදූ වූ හොඳ කොටස ඉදිරියට ගෙනයන්න. අතීතයේ සිදු වූ නරක කොටස කුණු කූඩයට දමා ඉදිරියට යා යුතුයි කියන පණිවිඩය මම අද ඔබලාට දෙනවා.

පසුගිය දිනවල අපි දැක්කා තරුණ අරගලය. තරුණයින් අරගලයක් ආරම්භ කර තිබෙනවා. එහි තරුණයින් සාධාරණව තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් කරන අරගලයක් තිබෙනවා. එම අරගලයට මුවා වී දේශපාලන වාසි ගැනීමට බලයට එමට නොහැකි කණ්ඩායම් උත්සාහා දරනවා. සමාජ අසහනය හා සමාජ මාධ්‍ය පාවිච්චි කර සාමකාමී අරගලය ප්‍රචන්ඩත්වය කරා ගෙනයන්න ඔවුන් කටයුතු කළ බව අපි දුටුවා.

87,89 කාල වකවානුව වගේම 30 වසරක යුද්ධයත් අපිට හොදට මතක තිබෙනවා. කුමන හෝ අරගලයක් ප්‍රචන්ඩත්වය කරාගෙන ගොස් බලය ලබාගන්න බලාපොරොත්තු වෙන කණ්ඩායම්වලට ඉඩක් නොදී මේ රටේ සැබෑ තරුණයාට ආදරේ කරනවා නම් ඒ තරුණයාට සාධාරණයක් ලබාදෙන්න ස්ථාපනය කරපු ආයතනය ජාතික තරුණ සේවා සභාවයි.

 

 

විශේෂ ස්තූතියක් සමග අපි සිහිපත් කරන්න අවශ්‍යයි ඊශ්‍රායල් ජාතික අරියේ ලෙව් මහතා කළ සමීක්ෂණයකින් තරුණ සේවා සභාව ස්ථාපනය කළ යුතු යැයි නිර්දේශ කළා. 1978 තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණයින් වෙනුවෙන් ඉතා හොද සේවාවක් ඉටු කළා. ඒ කාලේ කරුණාසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා,‍ශර්ලි වෛජයන්ත වැනි මහත්ම මහත්මීන් මේ තරුණ සේවා සභාවෙන් ඉදිරියට ආපු දක්ෂ කලාකරුවන්. විවිධ ක්ෂේත්‍රවල තවත් දක්ෂයින් පිරිසක් බිහි වුණා.

යම් යම් කාලවල උත්සාහයන් දැරුවත් මම ඔබෙන් අහනවා ඒ කාල වකවානුවෙන් පස්සේ මේ ආයතනය හරහා තරුණයින්ට යම් සාධාරණයක් ලබා දෙන්න හැකි වුණාද නැද්ද කියන එක. අපි ප්‍රායෝගික විය යුතුයි. ප්‍රතිඵලය නොමැතිව මොනවා කළත් වැඩක් නැහැ.

අදහස් යෝජනා ලබා දෙන්න විශාල පිරිසක් ඉන්නවා. මම ඔවුන්ට පවසන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියලා. අපිගාව දක්ෂයන්ට ඉඩ තිබෙනවා. සියලුම සහයෝගයන් ලබා දෙනවා.

ඩොලර් බිලියන 51 ක් අපි ණයයි. අද සමාජයේ මතයක් යනවා වංචා, දූෂණ වුණා කියලා. මගේ අමාත්‍යාංශයේ මූල්‍ය පැත්ත බලන්නේ ලේකම්තුමා හා රාජ්‍ය නිළධාරීන්. කොහොම හරි වංචාවක් වුණාම කියමුකෝ ඩොලර් බිලියන 05 ක්. අනවශ්‍ය ව්‍යාපෘති සදහා අපි ඩොලර් බිලියන 05 ක් අයින් කරමු. එතකොට ඩොලර් බිලියන 10 ක් අයින් කරමු. ඉතිරි ඩොලර් බිලියන 48 ක් ණය වුණේ ඇයි. ආයතනවල පාඩු, සහනාධාර, අවිධිමත් කළමණාකරණය. මේවා තමයි හේතු.

උදාහණයක් විදියට IOC සමාගමේ සේවකයින් 300 යි. ඒ ආයතනය සිපෙට්කෝ ආයතනය විකුණන මිලටම තෙල් විකුණලා ලාභ ලබනවා. සිපෙට්කෝ ආයතනයේ සේවකයෝ 8000 යි. ඒ ආයතනය පාඩු ලබනවා. මම දකින්නේ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධව ගියොත් දියුණු කරන්න පුලුවන්. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික කරන්න කිව්වාම මොකද වෙන්නේ. ජාතික සම්පත් විකුණනවා කියලා කෑ ගහනවා. ජාතික සම්පතක් විදියට මේ දේවල්වලට ආදරේ කරනවා නම් ලාභ ලබන්න දෙන්න.

විදුලිබල මණ්ඩලය සාමාන්‍යයක් විදියටවිදුලි ඒකකයක් රුපියල් 47කට මිලදී ගන්නවා. ඒ මිල සාමාන්‍යයක්. සමහර ඒකක රුපියල් 102 ටත් මිලදී ගන්නවා. සාමාන්‍ය විදියට ගත්තාම රුපියල් 42 යි. තරුණ සේවා සභාවේ වහලේ උඩ සෝලා පැනල් සවි කර විදුලිය දුන්නොත් ඒ සදහා රුපියල් 22 ක් ගෙවනවා. ඉල්ලුම් කළාම මොකද කියන්නේ. තරුණ සේවා සභාවේ එච්චර විදුලිය පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණ වහලය මත සොලා සවිකරන්න දෙන්න බැහැ. 47 ට වඩා 22 විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට ලොකුයි. එයාලාගේ විදියට. ඒක තමා ඇත්ත කතාව. ඒ නිසයි විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් තිබෙනවා කියන්නේ.

රුපියල් 22 ට නෙවේ 18 ට මිලදී ගත්තත් මිනිස්සු තමන්ගේ වහලය මත පුලුවන් විදියට සෝල් පැනල් සවිකරගන්නවා. එතන ට්‍රාන්ස්ෆෝමරයට පවා ගෙවීම් කරන්නේ සෝලා පැනල් සවිකරගන්න මහජනතාවමයි. විදුලිබල මණ්ඩලයෙන් නොවෙයි. මේ දේවල් කරලා ජනතාව අධෛර්යමත් කරනවා.

අපේ රටේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සූර්ය පැනල් සවි කළා නම් ලොකු ආදායමක් ලැබෙනවා. එහෙම වුණා නම් කරුවලේ ඉන්නේ නැහැ ජනතාවට.  ආදායම කෙසේ වුවත් පාඩුව නැතිව යනවා. ඩීසල් ගේන්න ඩොලර් යන්නේ. ඩොලර් යන එක නවත්තගන්න නම් අපිට තිබෙන සූර්ය ශක්තිය, සුළං බලය, ජලය උපයෝගී කර ගත යුතුයි. රටේ විදුලියෙන් භාගයක්ම ලබාදෙන්නේ මහවැලියේ ජල විදුලියෙන්. මම විස්වාස කරනවා සූර්ය බලයෙන්, සුළං බලයෙන් 100% ක් විදුලිය ලබාගැනීමට යම් දවසක හැකි වේවි.

දැන් තරුණයෝ ඉල්ලන්නේ ”සිස්ටම් චේන්ජ් එකක්”. අන්න ඒ සිස්ටම් එක චේන්ජ් එක කරන්න අපි පටන් ගන්න අවශ්‍ය අපෙන්මයි.

මගේ දෙමව්පියෝ හොද ව්‍යාපාරිකයෝ. යම් යම් ව්‍යාපාරවල නිසි කළමණාකාරීත්වයක් සිදු නොකළ නිසා අපේ ව්‍යාපාර සියල්ල නැතිවුණා. අපි ජීවත් වූ ගෙදර පවා නැතිවුණා. මගේ මව ධෛර්යමත් කාන්තාවක්. යම් හැකියාවක් තිබුණා කොහොමද නැවත නැගිටින්න අවශ්‍ය කියා. එතුමිය පුංචියට ව්‍යාපාරයක් පටන් අරගෙන ව්‍යාපාරයත් කරන ගමන් සමූපකාර සේවයේත් සේවය කර අපිට කෙසේ හෝ ඉගැන්වූවා.

මම උසස් පෙළ විභාගයෙන් පසු විදෙස්ගතවීමට තීරණය කළා. අපි රජයට දොස් කිය කිය හිටියේ නැහැ. වෛර කළෙත් නැහැ. මම අදටත් පිං දෙනවා. උසස් පෙළ දක්වා මේ රටේ ජනතාවගේ බදු මුදලින් මට ඉගැන්වූවාට. මට ඒ හොදටම ප්‍රමාණවත්. ඒ නිසා තමයි මම රටට ආදරේ කරන්නේ.

උසස් පෙළ දක්වා ඉගෙන ගෙන මම විදේශගත වූවා. ජපානයට මම ගියේ. වැඩිපුර අධ්‍යාපනය හදාරන්න ගියාට මට එවන්න දෙමාපියන්ට මුදල් තිබුණේ නැහැ. මාස 06 ක් මම රැකියාවක් කළා. මට ඉස්සරලාම කිවුවේ රස්සා දෙන්නේ නැහැ. ඕනේනම් පැයකට යෙන් 500 ක් දෙන්නම් කිව්වා. ඒ කාලේ යෙන් 1500 ක් විතර ගෙවනවා පැයකට. මගේ කාර්යය මම හරියට කළා. මගේ වගකීම තමයි ජෙට්වල ඇන හදන කම්පැණියක ඇන ටික කෙමිකල් එකකින් හෝදන එක. මම ඒ දේ කළා. මාස 03 ක් යනකොට මට යෙන් 1500 වැටුපට එන්න හැකියාව ලැබුණා. යන්ත්‍රසූත්‍ර හැම එකක් ළඟටම ගිහින් බලාගෙන ඉදලා මම ඒවා ඉගෙන ගත්තා. මටත් තිබුණා මට දුන්නේ ඇණ හෝදන්නනේ ඒක විතරක් කරගෙන ඉන්නවා කියලා හිතලා ඉන්න.

අපේ තරුණයින් හදන්න අවශ්‍ය අන්න එතෙන්ට. මම කළේ අනෙක් හැම මැෂින් එකක් ළඟටම ගිහින් කොහොමද වැඩ කරන්නේ කියලා ඉගෙන ගත්ත එක. වැඩ ඉවර වුණාම මම ඒ ප්‍රධානියගෙන් අහලා ටික ටික පුරුදු වුණා. මාස 03ක් යනකොට එතන කිසිම සේවකයෙකුට ලැබුණේ නැති යෙන් 1500 මට ලැබුණා. මාස 06 ක් වැඩ කරලා මම ඒ ආයතනයේ ප්‍රධානියා මුණ ගැහිලා කිව්වා මට තනියම දෙයක් කරන්න අවශ්‍යයි කියලා. ඒ උපයාගත් මුදලට බොහෝම ස්තූතියි කියලා ඒ ආයතනයෙන් සමුගත්තා.

වාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් තමයි මම ආරම්භ කරන්න අදහස් කළේ. ඉඩමක් අරගෙන, වාහන අදින්න ලොරියක් අරගෙන. තාම මට මුදල් නැහැ. ගෙවල්වලට ගිහින් ගෙවල්වල තිබෙන පරණ වාහන ගත්තා. ටික දවසක් මේ විදියට වාහන ගන්නවා. ගේනවා. ඒ වාහන අමතර කොටස් බවට පත්කරනවා. මේ අතර මම හිතුවා තව දුරටත් අධ්‍යාපනය ලබන්න අවශ්‍යයි කියා.

ඒ රටේ ඔටෝමොබයිල් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. උදේ 8.00 සිට සවස 3.00 වන තුරු පංති. පාන්දර 5.00 ට මගේ ඉඩමට ගිහින් වාහන අමතර කොටස් කරනවා. හිම වැටෙනවා හොදටම. උදේ පංති ගිහින් නැවත සවස 3.00 ට වාහන අලෙවිකරුවන් ළඟට යනවා. දවල් කාලයේ තමයි ඒ දේ කරන්න පුලුවන්. මම මිනිස්සු එක්ක ආදරෙන් වැඩ කළා. ඔවුන් හිතවත් වුණා. සමහරු මට අඩුවට වාහන ලබාදුන්නා. මම ඒ වාහන ගෙනැත් පාන්දර 2.00 වන තුරු වාහන අමතර කොටස් බවට පත් කරනවා. අවුරුදු 06 ක් මම නිදාගත්තේ පැය 03 යි. එහෙම නිදාගෙන තමයි ව්‍යාපාරිකයෙක් විදියට අද වන විට රටවල් 04 ක ව්‍යාපාර ගොඩනැගුවේ.

ජපානය, අප්‍රිකාව, එංගලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් 04 තුළ අමතර කොටස් සහ යන්ත්‍රෝපකරණ ව්‍යාපාරයේ යෙදුණා. මම ලංකාවේ මගේ සෑම ව්‍යාපාරයක්ම මිලදී ගත්තේ පිටරට ගිහින් උපයාගත් යෙන්, ඩොලර් භාවිතා කර. මම මෙතනදී ඔබ සැමට කියන්න උත්සාහා කරන්නේ අපි තරුණයා හදන්න අවශ්‍ය ස්ව උත්සාහයෙන් නැගී සිටින්න. රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යයි. අද ගොඩාක් වෙලාවට පුරුදුවෙලා තිබෙන්නේ මට මොනවාද හම්බෙන්නේ කියන ආකල්පය. මෙය වෙනස් නොකර රටක් ජාතියක් ලෙස නැගී සිටින්න බැහැ.

අපි කතා කරනවා රජ දවස ගැන. අපේ ඉතිහාසය මෙහෙමයි. අපිට වර්ණනා කරන්න තිබෙන්නේ රජවරු ගැන විතරයි. රජ දවසෙන් පස්සේ යටත් විජිතවලින් පස්සේ නිවට කම්මැලි ජාතියක් බවට පත්වෙලා. ඒ නිසා අපි ධෛර්යමත්ව නැගිටින්න අවශ්‍යයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගැන අද කතාවෙනවා. එතුමියගේ යුගය තිබුණා නම් වටිනවා කියා. එතුමියව ගෙදර යැව්වේ කවුද? නිකන් කන්න දෙනවා කිව්වාම එතුමියව හෝදලා ගෙදර යැව්වේ.

2010 අපි හිතුවා යුද්ධය අවසාන කර එතනින් පසු රටේ ලොකු වෙනසක් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි වේවි කියා. අපේ බලාපොරොත්තු සුන් වුණා. දැන් නැවත වතාවක් රටක් ජාතියක් ලෙස නැගිටිනවා නම් නැගිටින්න හොඳම අවස්ථාවක්.

සමෘද්ධිය භාර අමාත්‍යවරයාට ගන්න වෙනවා තීන්දුවක්. පවුල් ලක්ෂ 18 ක් ඉන්නවා සමෘද්ධි ප්‍රතිලාභ ලබන. මේ අය කවදාවත් දියුණු වෙන්නේ නැහැ. දියුණු වුණොත් සමෘද්ධීය කපනවා. එයාලාගේ සුදුසුකම වෙන්නේ දුප්පත්කම. සමෘද්ධි නිළධාරීන්ට වගකීමකුත් නැහැ ඒ අය දියුණු කරන්න. ජපානයේදී දෙන්නේ අවුරුදු 03 යි දියුණු කරන්න. ඒක වගකීමක්. ඒ නිසා අපේ රටේ සෑම නිළධාරී මහතෙකුටම වගකීමක් තිබෙනවා මේ රට දියුණු කරන්න.

එංගතන්තයේ මගේ සහෝදරයාගේ දරුවෝ විශ්ව විද්‍යාලයට යනවා. උසස් පෙළින් පසු ඔනේම දරුවෙක්ට විශ්ව විද්‍යාලයට යන්න පුලුවන්. කොහොමද කරන්නේ. ණය මුදලක් දෙනවා. ණය මුදලෙන් විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන උපාධිය ලබාගෙන රැකියාවෙන් ණය මුදල ගෙවනවා. අපේ රටේ යම් පිරිසකට විශ්ව විද්‍යාලයේ යන්න සියලුම ජනතාව බදු ගෙවනවා. අවුරුදු 04 වෙනුවට අවුරුදු 10 ක් මහජන මුදල් හා කාලය කා දමමින් විනාශ කරනවා. මේක නෙවේද ඇත්ත.

එක එක දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වෙලා ඉන්නවා. මේවා වෙනස් වෙන්න ඕනේ. රටේ කාලය, මහජන මුදල් වැයවෙනවා. අවුරුදු 10ක කාලයක් ඉන්නවා කියන්නේ මහාචාර්යවරුන්ට, සේවකයින්ට, ගොඩනැගිලි නඩත්තුවට මහජන මුදල් වියදම් වෙනවා කියන එක.

මේ ක්‍රමය වෙනුවට උසස් පෙළින් පසු කැමති පාඨමාලාවකට විශ්ව විද්‍යාලයට යන්න බැංකුවෙන් ඉතාම සුලු පොළියකට ණය මුදලක් ලබාදීලා උපාධිය අරගෙන රැකියාවක් කරන ගමන් එය ගෙවිය හැකි ලෙස සකස් කළ යුතුයි. එසේ වුවහොත් තව පිරිසක් ඉගෙන ගන්නවා. මෙන්න මේකයි සිස්ටම් චේන්ජ් කියන්නේ.

අප්‍රිකානු රටවල්වලට මම ගියා. අනාගතය තිබෙන්නේ අප්‍රිකාවේ. මම රහසක් කියලා යන්නම්. මම මොසැම්බික් කියන රටට ගියපුවාම අපේ ප්‍රධාන ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ රටේ මොසැම්බික් ජාතිකයෙක් නැතිව කර්මාන්තයක් ආරම්භ කරන්න පුලුවන්. මේ රටට යන තරුණයෙකුට පැහැදිලි ඉඩක් තිබෙනවා ටේලර් ෂොප් එකක් ආරම්භ කරන්න. රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න.  අත් දෙකයි කකුල් දෙකයි අරගෙන ගිහිල්ලා මහ මුහුද මැද අතඇරියාම මම පීනුවා.

ශ්‍රී ලාංකිකයින් දක්ෂ පිරිසක්. පිටරට අපේ වැඩ කරන අය බොහොම දක්ෂයි. මොන හේතුවක් ද දන්නෙ නැහැ ලංකාව ඇතුළෙ දී කම්මැලියි. ඒකයි ඇත්ත කතාව. ලෝකේ සෑම රටකම සේවය කරන ලංකාවේ මිනිස්සු දක්ෂයි. ආදරය දිනාගෙන තිබෙනවා. අපේ ලේ වල තිබෙනවා හැකියාව.

මම ගිනී කියන රටට ගියා. ඒ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් මුණ ගැහුණා. ඔහුට කර්මාන්ත 07 ක් තිබෙනවා කිව්වා. එතුමා කිවුවා මම මේ රටේ පළමුවෙන්ම තේ කඩයක් දාලා තමයි මේ තැනට ආවේ කියලා. දැන් ඔහු ගිනී වල තුන්වෙනි කෝටිපතියා. ඉන්දියානු ජාතිකයෙක්. ඒ රටෙත් ව්‍යාපාර ආරම්භ කරන්න පුලුවන්. අපේ තරුණයෙක් ඉන්නවා ඒ රටේ ඩිජිටල් ප්‍රින්ටින් ව්‍යාපාරය කරන්නේ. නාමපුවරු සියල්ල එතුමා කරන්නේ. සේවකයින් 13 දෙනෙක් පමණ එහි වැඩ කරනවා. අපිට ඒ වගේ රටවල් හොයාගෙන ව්‍යාපාර ආරම්භ කළ හැකියි. පොඩි තැනකින් පටන් ගන්න පුලුවන්. එතනින් ඉහලට යාමේ හැකියාව තිබෙනවා. දියමන්ති, රත්තරන්, ඇලුමිනියම්, ගෑස් තිබෙන්නේ අප්‍රිකානු කළාප‍යේ රටවල. අනාගතය තිබෙන්නේ අප්‍රිකාවේ.

නව සභාපතිතුමා සමග එකතුවෙලා ඉලක්ක කරන්න. ඒ වගේ රටවල ගොඩාක් අය දියුණු වෙලා ඉන්නවා. ගොඩාක් අය කියන්නේ නැහැ. සමහරු හැංගිලා තනියම කරගෙන යනවා. තව මිනිහෙකුට කියන්නේ නැහැ. නොකියන්නේ ඇයි කියලා ඇහුවාම කියනවා. ”නෑ කිසි ගුණයක් නැහැ” කියලා. ඒවා අපි හදන්න ඕනේ. ඒවා මේ තරුණ සේවා සභාවෙන් හදන්න ඕනේ.

මගේ ආයතනයේ නම සිලෝන් යූරෝ නිපෝන්. ඇයි.. මම ලංකාවේ ඒ නිසා සිලෝන්. මම ඉස්සරලාම ගියේ යුරෝපයට ඒ නිසා යූරෝ. ඒ පිහිටෙන් තමයි ජපානයට ගියේ. ඒ හින්දා නිපෝන් දැම්මා. මුල මතක තියෙන්න ඔනේ මිනිහෙක්ට. සමහරු කියන්නේ වැඩක් නෑ අපි මේවා කිව්වාට. ආවාම කිසි ගුණයක් නැහැ. අන්තිමේට අපිවත් කපාගෙන යන්නේ. ඒ හින්දා අපේ දේ කරගෙන ඉන්නවා. එහෙනම් ඒ ගුණය කියන එක හදන්න අවශ්‍යයි. ඒවා මේ ආයතනයෙන් හදන්න. ධනාත්මක චින්තනය ඉස්සරහට දෙන්න.

ජපානයට දෙලක්ෂ පනස්දාහක් රැකියා අවස්ථා තිබෙනවා. වියට්නාම්, පිලිපීන්, ඉන්දුනීසියා ගිවිසුම්ගතවෙලා තිබෙනවා ජපානයට සේවාවන් සදහා යවන්න. අපිත් ගිවිසුම්ගත වෙලා ඉන්නවා. වෙන රටවලින් ගිහින් තිබෙනවා තිස්දාහ, හතලිස් දාහ, අපෙන් තවම ගිහින් තිබෙන්නේ 800 යි. ඇයි. අපේ සංචිතයක් නැහැ. ඉන්දුනීසියාවට ගියාම 30,000ක සංචිතයක් ඉන්නවා. වියට්නාමයට ගියාමත් ඉන්නවා. අපේ මොකද වෙලා තිබෙන්නේ.

ඇත්ත කියන්න ඕනේ. අපේ අයට ඉවසන් බැහැ.  අපි ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව ඔෆ්ෂන් 03 ක් දෙන්න ඕනේ. අපි ජපන් ඉගෙන ගෙන මාස 06 ක් වෙනවා. යවනවා කිව්වා ජපානයට, යවන් නෑ වගේ. බොරු වැඩ කියනවා. ඒ ඇයි. ඒ අයට පැහැදිලි කරලා දීලා නැහැ. අපේ 800 යන්න හේතුව ජපන් තානාපතිතුමත් කියන්නේ අපිට තෝරාගන්න නැහැ. තෝරාගන්න කණ්ඩායමක් නැහැ. මේ අයට වෘත්තීය පුහුණුවත්, N4,N5 භාෂා පුහුණුවත් ලබාදෙන්න ඕනේ. රැකියාව කරන ගමන් හරි මේක කරලා භාෂාවෙන්,නිපුණතාවෙන් දැනුම්වත් වෙන්න. එතකොට මේ ඉල්ලන සංචිතය හදලා යන්න පුලුවන්. කාටහරි කාලයක් ඉවසන්න බැරිනම් අපි කටාර්වලට අවස්ථාවක් හදලා දෙමු. හැබැයි ඒකේ පඩිය අඩුයි. මාස 06ක පුහුණුවක් ලබන්න පුලුවන් නම් අපි ජෝර්දාන්වලට හදලා යවමු. ඒ වගේ ඔෆ්ෂන් 03 ක් දෙන්න.

මේ තරුණයින්ට බොරු නොකියා ඇත්ත කියන්න. ජපානයට යන්න අවුරුදු එක හමාරක් දෙකක් යයි. කැමති නම් ඉවසන්න. මේ වගේ සංචිත හදන්න අවශ්‍යයි. අපිත් ගිවිසුම්ගත වෙලා තියෙන්නේ ජපානය සමග. ධනාත්මක චින්තනය අනුව තරුණයින් පෙළ ගස්වන්න අවශ්‍යයි. කටාර්වලට යනවාද, ඊළඟ කැටගරි එකට යනවාද ජපානයට යනවාද කියලා.

තරුණ ගොවි ගම්මාන ඇති කරන වැඩසටහන ආරම්භ කරනවා. අපේ සභාපතිතුමා ඉතාමත් දක්ෂ ප්‍රායෝගික තරුණයෙක්. අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉතාමත් දක්ෂ අය අපි පත්කරන්නේ. අදහස් යෝජනා පමණක් නොවේ ප්‍රායෝගිකව වැඩ කරලා ප්‍රතිඵල පෙන්විය හැකි අයයි අපි තෝරාගන්නේ.

සමහරු කියන්නේ . මම පැලකළා, වතුර දැම්මා, අතු කැපුවා ඒත් ගෙඩි නැහැ. මොනවටද, ගෙඩි නැත්නම් වැඩක් නැහැ. එම නිසා ප්‍රතිඵලදායක වැඩවලට යන්න ඔබේ සහාය ලබාදෙන්න.

මේ අයතනවලට දේශපාලනීයකරණය අවශ්‍යම නැහැ. ඔබ දේශපාලනඥයා කවුද කියලා තෝරාගනී වැඩපිළිවෙල මත. කවුද පාලනය කරන්න සුදුස්සෝ කියලා වැඩ දිහා බලලා තෝරාගනී. සමහරු දේශපාලනඥයාට මුවා වෙන්න හදන්නේ වැඩ බැරි හින්දා. වැඩ බැරි වුණාම බලනවා කොහෙන්ද ආවරණය වෙන්නේ කියලා. වැඩ බෑ කියලා කෙනෙක් නෑ. මම මුවාවෙලා හිටියා ඇති. මම මගේ පුලුවන් මට්ටමින් කරනවා. කකුලෙන් අදින එක පැත්තකින් තියලා. කේලම් නොකියා සහාය දෙනවා. මේ තරුණයෝ රටේ අරගලයක ඉන්නවා. දුක් විදිනවා රැකියාව නැතිව විශාල පිරිසක් ඉන්නවා. මේ තරුණයෝ වෙනුවෙන් යමක් කරන්න මම කටයුතු කරනවා කියලා අදිටන් කර ගන්න.

උදේට සේවයට ඇවිත් හවස ගෙදර යනකොට ඔබේ හෘදසාක්ෂියෙන් අහන්න වෙන කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑහැ. ඔබේ හෘදසාක්ෂියෙන් ඔබ අහන්න මම ගන්න වැටුපට මගේ සාධාරණය ඉෂ්ට වුනාද කියලා. ඔබෙන් අහන්න ඔබෙන් රටට, මේ තරුණයන්ට සාධාරණයක් ඉෂ්ට වුණාද කියලා. මේ තරුණයින් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක හදන්න ඇප කැප වෙලා වැඩ කරමු. ඒ සදහා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මේ වගකීම පවරලා තිබෙන්නේ. ඒ වගකීමට අනුව සුදුසුම කියලා හිතෙන සභාපතිතුමෙක් පත් කළේ. එතුමා ගැන මට ලොකු විස්වාසයක් තිබෙනවා. මේ හැමදේකම පැවැත්ම තිබෙන්නේ විශ්වාසය මත. ඒ නිසා එතුමා ඔබත් සමග සහෝදරත්වයෙන් වැඩ කටයුතු සිදු කරාවි. පූර්ණ සහයෝගය දෙන්න. එකතුවෙලා වැඩ කරන්න. එතුමා වැඩේට හයිය දෙයි. ලකුණු ටික ඔබට දෙයි. එ සදහා අපි සියලුදෙනා අමාත්‍යාංශය විදියට ඔබට සහයෝගය නිරන්තරයෙන්ම ලබා දෙනවා’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන්ද සිල්වා මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා මහතා, තරුණ පාර්ලිමේන්තුවේ අගමැති යුපුන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් කවිදු කවීන් මහතා ඇතුලු නිළධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top