ඉනිමක ජයක් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 206 ක ඉනිමත් ප්‍රභාත් ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් දිනක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානුවන් එරෙහිව ඉනිමක සහ ලකුණු 39 කින් ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) පස්වරුවේ සමත්විය. වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට දිමුත් ඇතුළු කණ්ඩායම සමත්වුවත් කළින් පැවැති ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියානුවන් සතුවීම නිසා වෝන් – මුරලි ශූරතාව සංචාරකයින් සන්තකයේම පවතිනු ඇත.

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලියක් හෙයින් මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 60 ක් එක්කාසු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.  කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරග ජය ගැනීමට ඔස්ට්‍රේලියානු පිල සමත්වීම නිසා ඔවුන්ටද ප්‍රසාද ලකුණු 60 ක් හිමිවිය.

දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතකය (නොදැවී 206) සහ පසුපෙළ පිතිකරුවන් දක්වන ලද දායකත්වය නිසා ලකුණු 190 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වද්දී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවන්ට පන්දුවාර 41 කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි. පළමු ඉනිමේ පරිදිම ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමද සුණු විසුණු කර දැමූ ප්‍රභාත් ජයසූරිය දැවී ගිය කඩුලු 10 න් 6 කම හිමිකකරුවා බවට පත්වූවේය.

වමතින් දඟ පන්දු යවන ජයසූරිය සමස්ථ තරගයේදී ලකුණු 177 කට කඩුලු 12 ක් දවා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නකු මංගල තරගයේදී වාර්තා කරන ලද සිව්වැනි හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. එය ශ්‍රී ලාංකේය ටෙස්ට් වාර්තා සමග සංසන්දනය කිරීමේදී මංගල තරගයකදී ශ්‍රී ලාංකිකයකු යවන ලද හොඳම පන්දු යැවීම විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ප්‍රවීන් ජයවික්‍රම වන අතර ඔහු බංග්ලාදේශයට එරෙහිව කඩුලු 11 ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේය.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 49 බිඳ දැමීමට රමේෂ් මෙන්ඩිස් සමත් වද්දී 19 වැනි පන්දුවාරයේදී උස්මාන් ඛවාජා සහ ස්ටීවන් ස්මිත් දවා ගනිමින් ඔස්ට්‍රේලියානු හඹා යෑම අඩපන කිරීමට ජයසූරිය සමත්විය. තරගය පස්වැනි දිනය දක්වා රැගෙන යෑම සඳහා වැඩි වෑයමක් දැරූ පිතිකරුවා වූයේ මානස් ලබුෂේන් වන නමුත් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කර ගනිමින් එම කඩුල්ල දවා ගැනීමට ජයසූරිය සමත්වූවේය. එතැන් පටන් තරගය අවසන් වීම සඳහා වැය වූයේ පන්දුවාර 10 ක් පමණි. පන්දු 3 ක් ඇතුළත කැමරන් ග්‍රීන් සහ මිචෙල් ස්ටාක් දවා ගත් ජසූරිය ඉනිමේ අවසන් පිතිකරුවා වූ ස්වෙප්සන්ව දවා ගනිමින් වාර්තා ගත පන්දු යැවීමට හිමිකම් කීවා පමණක් නොව මංගල තරගයේම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මිචෙල් ස්ටාර්ක්ට පිට පිටම එල්ල කරන ලද හතරේ පහරත් හයේ පහර 2 ත් සමඟ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය සපුරා ගත් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුනු 554 කදී අහවර වන තෙක්ම සිය ඉනිම ආරක්ෂා කර ගත්තේය. පන්දු 326 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා තම ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය.

චන්දිමාල් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර වැඩිම ලකුනු ලාභියා බවට පත්ව සිටියේ කුමාර් සංගක්කාර වන අතර හෝබාර්ට්හිදී රැස් කරන ලද ලකුණු 192 මීට පෙර එහි වාර්තාවිය. මෙම සුවිශේෂී ඉනිම නිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානයද හිමිවිය.

ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස කසුන් රාජිත දැවී යන විට ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 181 කට ක්‍රීඩා කර තිබුණි. ශ්‍රී ලංකාව අද රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ඔස්ට්‍රේලියානු  පිලටකඑ එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මීට වසර 30 කට පෙර කොළඹ එස්. එස්. සී. පිටියේදී කඩුලු 8 ක් දැවී රැස් කරන ලද ලකුණු 547 වේ.

මහීෂ් තීක්ෂණ සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 7 ක් ඇතුළත දැවී ගියද චන්දිමාල්ට එක්වූ කසුන් රජිත 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක්ද එක් කිරීමට දායකත්වය දැක්වූවේය. එම සම්බන්ධතාවයේදී කසුන්ගේ පිත්තෙන් එකම ලකුණක් හෝ වාර්තා නොවීම කැපී පෙනිණ. ජ්‍යෙෂ්ඨයාට අවශ්‍ය සහාය ලබා දී අනෙක් අන්තයේ රැදී සිටි රාජිත දැවී යන විට පන්දු 09 කට මුහුණ දී තිබුණේය.

ශ්‍රී ලංකා  පිලට ඔස්ට්‍රේලියානු  පිල අභිබවා යෑමට ශක්තිය ලැබුණු සම්බන්ධතාව වූයේ චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් එක්ව රැස් කරන ලද ලකුණු 68 ක සම්බන්ධතාව විය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට ක්‍රීඩා කරන රමේෂ් පන්දු 98 කදී ලකුණු 29 ක් ලබා ගත්තේ ඉනිමට එක් හතරේ පහරක් පමණක් ඇතුළත් කර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන් පන්දුවාර 64 ක් යවමින් ලකුණු 194 කට කඩුලු 2 ක් දවා ගෙන සිටියේය. ලයන් යවන ලද මෙම පන්දුවාර සංඛ්‍යාව 1981 වසරෙන් පසු ඔස්ට්‍රේලියානු පන්දු යවන්නකු ඉනිමක යවන ලද තෙවැනි වැඩිම පන්දුවාර සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර ස්ටීව් ඔකීෆ් (2017) සහ ෂේන් වෝන් (2002) පිළිවෙළින් පන්දුවාර 77 සහ 70 බැගින් යවා තිබේ.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 110 කදී සියලු දෙනා දැවී ලකුණු 364 යි – ස්ටිවන් ස්මිත් (නොදැවී) 145, මානස් ලබුෂේන් 104, අලෙක්ස් කේරි 28, උස්මාන් කවාජා 37, ප්‍රභාත් ජයසූරිය 118/6, කසුන් රජිත 70/2, රමේෂ් මෙන්ඩිස් 117/1, මහීෂ් තීක්ෂණ 48/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 181 කදී ලකුණු 554 යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 206, දිමුත් කරුණාරත්න 86, කුසල් මෙන්ඩිස් 85, ඇන්ජලෝ මැතිව්ස් 52, කමිඳු මෙන්ඩිස් 61, පැතුම් නිස්සංක 06, නිරෝෂන් දික්වැල්ල 05, රමේෂ් මෙන්ඩිස් 29, මහීෂ් තීක්ෂණ 10, ප්‍රභාත් ජයසූරිය 00, කසුල් රජිත 00, මිචෙල් ස්ටාක් 89/4, නේතන් ලයන් 194/2, මචෙල් ස්වෙප්සන් 103/3, පැට් කමින්ස් 95/1)

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම පන්දුවාර 41 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – මානස් ලබුෂේන් 32, උස්මාන් කවාජා 29, ඩේවිඩ් වෝනර් 24, ස්ටීවන් ස්මිත් 00, ට්‍රෙවිස් හෙඩ් 05, කැමරන් ග්‍රීන් 23, අලෙක්ස් කේරි 16, මිචෙල් ස්ටාක් 00, පැට් කමින්ස් 16, නේතන් ලයන් 05, මිචෙල් ස්වෙප්සන් 00, ප්‍රභාත් ජයසූරිය 59/6, රමේෂ් මෙන්ඩිස් 47/2, මහීෂ් තීක්ෂණ 28/2[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top