චමරිගේ වේගවත් ප්‍රහාරය ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් කරා රැගෙන යයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය Chelmsford හිදී පැවැත්විණි. තරගාවලිය සම තත්වයට ගෙන ඒමට තීරණාත්මක තරගයක් වූ මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකරගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තයට එරෙහිව ලද පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලෙසින් ඉතිහාසය ගතවිය.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් චමරි අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත ක්‍රීඩිකාවන්ට හිස ඔසවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩකඩ නොතැබීය. එංගලන්ත ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූයේ චාලට් ඩීන් ක්‍රීඩිකාවයි. ඇය පන්දු 26ක් තුල හතරේ පහර 4ක් සමගින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ නොතැබීය. ඒ අනුව පන්දුවාර 18ක් අවසානයේ සියලුම ක්‍රීඩිකාවන් දැවී එංගලන්තයට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 104ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ උදේශිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර, කවීෂා දිල්හාරි හා ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2 බැගින් බිදහෙලීය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිළේ පළමු කඩුල්ල ලකුණු 10කදී බිදවැටුනි. එතැන් පටන් පිටියේ එක්වන චමරි අතපත්තු හා හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා පිළ ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීමට සමත් විය. ක්‍රිකට් උපන් දේශයේදීම ප්‍රතිවාදීන්ට එරෙහිව චමරිගේ පිත්ත වේගයෙන් ක්‍රියාත්මක විය. ඇය පන්දු 31කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 55කින් ශ්‍රී ලංකා ඉනීම ශක්තිමත් කළාය. චමරිගේ දැවීයාමෙන් පසු පිටියේ එක්වූ හර්ෂිතා හා විශ්මි යන ක්‍රීඩිකාවන් පන්දුවාර 13 පන්දුවක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. හර්ෂිතා නොදැවී ලකුණු 30ක්ද විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 18ක්ද රැස් කිරීමට සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top