සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ තීරණාත්මක තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කිරීමට තීරණය වුවද තරගය අතරතුර ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ෆකර් සමාන් ලකුණු 4කදී දැවී ගියා. දෙවන කඩුල්ලට බාබර් හා අබ්දුල්ලා ෂාෆික් ලකුණු 64ක් එක් කරද්දී නායක බාබර් අසාම් ලකුණු 29කට දැවී ගියා. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆික් හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 52ක් රැස්කළා. මොහොමඩ් හැරිස් ලකුණු 3කටත් මොහොමඩ් නවාස් ලකුණු 12කටත් දැවී යද්දී ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 130ක් ලෙසින් දිස්වුණා. නමුත් හයවන කකඩුල්ලට ලකුණු 108 විශිෂ්ට සබඳතාවක් ගොඩනගන්නට ඉෆ්තිකාර් අහමඩ් හා මොහොමඩ් රිස්වාන් සමත් වුණා.

ඉෆ්‍තිකාර් පන්දු 40කදී ලකුණු 47ක් රැස්කළේ හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින්. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඩ් රිස්වාන් පන්දු 73කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කිරීමට සමත් වුණා. පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක්, ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 ක් හා දුනිත් හා මහීෂ් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 252ක්. ඉලක්කය හඹායාමට අද දිනයේදී පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමගින් කුසල් පෙරේරා ‍යි. පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව බොහෝ කලකට පසු එක්දින පිටියට පිවිසි කුසල්ගේ පිත්ත වේගයෙන් ක්‍රියාත්මක වුණා. කුසල් පන්දු 8ක් තුළ හතරේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 17ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාමට හසුවුණා. අනතුරුව කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක දෙවන කඩුල්ලට ලකුණු 57ක් එක් කළ අතර පැතුම්ගේ ඉනීම ලකුණු 29කට සීමා වුණා. සදීර හා මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 100ක් එක් කරද්දී සදීර සමරවික්‍රම අර්ධ ශතකය පෙනෙන මානයේ දී ලකුණු 48කට දැවී ගියේ ස්ටම්ප් කිරීමට හසුවීමෙන්. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තෙවන අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් අද දිනයේදී ජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කළේ පන්දු 87කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමගින් ලකුණු 91ක් රැස්කරමින්

නායක දසුන් ශානකගේ ඉනීම ලකුණු 2කට සීමා කිරීමට ඉෆ්තිකාර්ට හැකි වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර හතර තුළ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 28ක් අවශ්‍ය වුණා. ජයග්‍රහණය පෙනෙන මානයේ ලකුණු 9ක් අවශ්‍ය මොහොතේ ධනංජය සිල්වා දැවී යන්නේ ශහීන්ගේ පන්දුවක් හමුවේයි. මීළඟ පන්දුවේදී වෙල්ලාලගේ දවාගත් ශහීන් පාකිස්තානය දෙසට තරගය හරවන්නට සමත් වුණා. අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 8ක් අවශ්‍ය වුණා. අවසන් පන්දු 2 තෙක්ම තරගය දෙපසට දෝලනය වූ නමුත් පස්වැනි පන්දුවේදී චරිත් අසලංක හතරේ පහරක් එල්ල කරමින් තරගය තවත් උණුසුම් කළා. අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණු සම්පූර්ණ කරමින් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය චරිත් අසලංක පන්දු 47කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඉරිදා අවසන් මහා තරගයේදී මුණගැසීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top