ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දිනය ශ්‍රී ලංකාවට කෙබදුද ?

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරගාවලියේ අද දිනයේ පැවති තරග ඉසව් කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගි වුණා. එහිදී පදක්කම් බලාපොරොත්තුව සඵල කරමින් කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. නමුත් සත්සාමාජික රග්බි කණ්ඩායම මූලික වටයේ මුහුණ දුන් තරග 2කම පරාජයට පත් වූ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවුණා. ගෙවුනු දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෑ දස්කම් පිළිබඳව Ceylon Sports තබන සටහනක් මේ.

අද දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක තරග ඉසව්ව වෙනුවෙන් සහභාගි වූයේ ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් වූ මහේෂි බද්‍රා හා ජයනි හිරුණිකායි. කාන්තා යුගල Sculls ඉසව්වෙ B කොටසේ අවසන් මහා තරගය වෙනුවෙන් සහභාගි වූ ඔවුන් දෙදෙනා සිව්වැනි ස්ථානයට පත් විය. එම ඉසව්වේම පිරිමි තරගයට ඉදිරිපත් වූ මොහොමඩ් නෆිරාන් හා නුවන් සම්පත් තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

අද දිනයේදී මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව වෙනුවෙන් මැතිව් අබේසිංහ සහභාගි වූ අතර මූලික වටයේ හයවැනි අදියරේ තරගයකදී ඔහු 7 වැනි ස්ථානයට පත් වුණා. සත්සාමාජික රග්බි ඉසව්වේ තරග 2ක වෙනුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණා. නනමුත් එම තරග 2කම ලකුණු 22ට 7ක් ලෙසින් චීන තායිපේ හා දකුණු කොරියානු කණ්ඩායම් හමුවේ පරාජයට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.

අද දිනයේදී Artistic ජිම්නාස්ටික් තරග ඉසව්වේ අනුකාණ්ඩ 1 යටතේ පැවති තරගය වෙනුවෙන් එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ථ ඉසව්වේ පස්වැනි ස්ථානය හිමි වුණා. Sailing තරගයේ කාන්තා Dinghy-ILCA4 ඉසව්වේ අදියරකදී අටවැනි ස්ථානය හිමි කරගන්නට Arianna Tranchell සමත් වද්දී Tharen Nanayakkara එහි පිරිමි තරගයේ නවවැන්නා බවට පත් වුණා. කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ පදක්කම් බලාපොරොත්තු සහිතව ජයග්‍රාහී දිනයක් බවට අද දිනය පත් කරමින්.

බීච් වොලිබෝල් ඉසව්වේ අවසන් කණ්ඩායම් 16 වටයේ තරගයේදී තායිලන්තය හමුවේ වට 2ට 0ක් ලෙසින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. අද දිනයේ පැවති චෙස් ඉසව්වේ පළමු වටයේ තරගයකදී හොංකොං ක්‍රීඩකයෙකු පරාජයට පත් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සුසල් තේව්ජන් සමත් විය. ඔහු දෙවන වටයේ තරගයකදී උස්බෙකිස්තාන ක්‍රීඩකයෙකුට එරෙහි තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රිකට් අවසන් මහා තරගයට, ජූඩෝ, පිහිනුම්, ටයිකොන්ඩෝ, චෙස්, වූෂු ඇතුලු තරග රැසක් වෙනුවෙන් සහභාගි වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top