විශාල පිරිසක් නිහඩව සිටිනු ඇසීම ඔවුන්ගේ අරමුණ බව ඕස්ට්‍රේලියානු නායකයා කියයි.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතය. හෙට තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව තරග වදින අතර මෙම තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෙලෙසින් අදහස් දක්වා ඇත

2003 ලෝක කුසලානයේ වාඩුව මෙන්ම ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ වාඩුව ගන්නට ඉන්දීය කණ්ඩායම බලාසිටින බවත් සත්කාරක වාසිය ඉන්දියාව සතු බැවින් ඒ පිළිබඳව අදහස මාධ්‍ය වේදියකු විමසා ඇත. ඒ සදහා කමින්ස් ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

” 2003 ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ කවුරුත් කණ්ඩායම් දෙකේම නෑ. ඒක ගොඩක් කාලෙකට කලින් වුණු දෙයක්. නමුත් අපි දන්නවා හෙට තරගයට ඉන්දියාවට සහය දක්වන 130000ක රසිකයන් පිරිසක් පැමිණෙනවා කියලා. ඔවුන් තරගාවලිය තුළ අපරාජිතව හොදින් ක්‍රීඩා කලා. නමුත් අපේ උපරිමය ලබා දුන්නොත් ඔවුන්ට හොද තරගයක් දෙන්න පුලුවන් කියලා. කවුඩ් එක ගොඩක් දුරට ඒක පාර්ශවික වේවි. නමුත් ක්‍රීඩාවේ දී විශාල පිරිසක් නිහඬව සිටිනු ඇසීම තරම් තෘප්තිමත් දෙයක් තවත් නෑ. එයයි හෙට අපේ අරමුණ. “

” එක්දින තරග වල සාමාන්‍යයෙන් පන්දුවාර කිහිපයක් පන්දුව දෝලනය වන නමුත් ඉන්පසුව එතරම් දෝලනය නොවන නිසා වෙනත් ක්‍රමවලින් කඩුලු දවාගැනීමට උත්සහ කළ යුතුයි. අපේ ක්‍රීඩකයෝ හැමෝම හොදින් ඉන්නවා. ආබාධ තත්වයන් නෑ. අපි තවම තණතීරුව තක්සේරු කරලා නෑ. අද රෑට ඒක බලලා කණ්ඩායම තෝරනවා.

Back To Top