අබුඩාබි T10 ලීග් තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ විය. තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළ ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටොම් කැඩ්මෝර් පන්දු 33කදී ලකුණු 60ක් රැස්කළේය. පන්දු යැවීමේදී නිව්යෝර්ක් පිළ වෙනුවෙන් චාමික කරුණාරත්න ලකුණු 25කට කඩුලු 3 බැගින් බිදහෙලීය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළ කඩුලු 6ක් දැවී රැස්කළේ ලකුණු 96ක් පමණයි. ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරාට මෙම තරගයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11ක් පමණි. ඒ අනුව එම තරගයෙන් ලකුණු 22ක ජයක් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමි විය.
ඊයේ දිනයට අදාළ දෙවන තරගය වෙනුවෙන් ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු නදර්න් වොරියස් කණ්ඩායම සමගින් තරග බිමට පිවිසියේ සෑම්ප් ආමි කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දෙන නදර්න් වොරියස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 103ක් රැස්කළහ. එහිදී කොලින් මුන්රෝ ලකුණු 35ක් රැස්කළ අතර ඇන්ජිලෝ ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට ක්වයිස් අහමඩ්ට හැකිවිය.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන සෑම්ප් ආමි පිළ පන්දුවාර 9ක් තුළ කඩුලු 5කට ලකුණු 84ක් රැස්කොට සිටි අතර ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ලකුණු 20ක් අවශ්‍ය විය. අවසන් පන්දුවාරයේ දී පන්දුව අතට ගත් ඇන්ජිලෝ මැතිව්ස් එතෙක් වේලා කඩුල්ලේ රැඳි සිටි සෑම්ප් ආමි නායක මොයීන් අලිගේ කඩුල්ලද ඇතුලු ව කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත් විය. ඒ අනුව ඇන්ජිලෝ මැතිව්ස්ගේ සාර්ථක අවසන් පන්දුවාරය හමුවේ ලකුණු 9ක විශිෂ්ට ජයක් නදර්න් වොරියස් කණ්ඩායමට හිමිවිය