උමයංග මිහිරාන් ලක්මව රනින් සරසයි.

මලයාසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය දෙසැම්බර් මස 11- 15 දක්වා මලයාසියාවේ Penang හිදී පැවැත්විණි. මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පාමින් පදක්කම් 5ක් ලක්මාතාවට දිනාදෙන්නට සමත් විය. ඊට රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළත් ය.

ශ්‍රී කණ්ඩායමේ නායකත්වය හෙබවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩක උමයංග මිහිරාන් කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ තරග වදිමින් රටවල් 12ක ක්‍රීඩකයන් අභිබවා රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩක යසිදු ප්‍රේමරත්න කිලෝග්‍රෑම් 60 බරපන්තියෙන් රිදී පදක්කමක් දින ගත් අතර, මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ හේෂාන් ජයසිංහ කිලෝග්‍රෑම් 63.5 බර පන්තියෙන් තරග වදිමින් රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩක වන වරුණ බණ්ඩාර කිලෝග්‍රෑම් 54 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගනිද්දී එම විදුහලේම සල්මාන් ෆාරිස් කිලෝග්‍රෑම් 48 බරපන්තියෙන් ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් විය. ලක්මාතාවට කීර්තියක් අත්කර දෙමින් ජාත්‍යන්තර පදක්කම් දිනාදුන් මෙම ක්‍රීඩකයන්ට Ceylon Sports අප උණුසුම් සුබපැතුම් එක් කොට සිටිමු.

Image – SriLankaSports

Back To Top