ශ්‍රී ලංකා යෞවනියෝ ජයග්‍රහණයකින් තුන්කොන් සටන අරඹති

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන යොවුන් තුන්කොන් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනිමින්.

බ්‍රිස්බේන්හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායිකා මනුදි නානායක්කාර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් වුණා.

වැඩිම ලකුණු ලාභිනිය වූ රශ්මිකා සෙව්වන්දි ඉනීමේ අගඅගභාගයේ දී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19කදී නොදැවී ලකුණු 36ක් රැස්කළා. ඇගේ ඉනීම හතරේ පහර 2ක් සහ හයේ පහර 3කින් වර්ණවත් වුණා.

ආරම්භක පිතිකාරිණිය සජනා කාවින්දි පන්දු 38කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් අනීකා ටොඩ් ලකුණු 20ට කඩුලු 3ක් දවාගත්තා.නමුත් නවසීලන්ත ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට අතිරේක ලකුණු 28ක් එක් කළ අතර ඊට වයිඩ් ලකුණු 16ක් ඇතුළත් වුණා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් ස්ථාවර වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ තැබුවේ නැහැ. නවසීලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව පසුකරන්නට ඉඩ ලැබුණේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හමුවේ නවසීලන්ත ඉනීම ලකුණු 79කට සීමා වුණා. වැඩිම ලකුණු ලාභිනිය වූ ඊව් වෝලන්ඩ් ලකුණු 24ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පමුදි මෙත්සරා පන්දුවාර 3 පන්දු 3කදී ලකුණු 6කට කඩුලු 3ක් බිදහෙලුවා.

මීට අමතරව රශ්මිකා සෙව්වන්දි, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තල්ගුණේ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් පාන්නට සමත් වුණා. ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලකුණු 69ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වුණා.

Back To Top