දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තෙවන තරගයත් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා. තරගාවලිය පුරාවට දක්නට ලැබුණු දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 82කින් පරාජයට පත් වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ අසල්වැසි ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඉන්දීය නායිකාවගේ තීරණයට උපරිම සාධාරණයක් කළ ආරම්භක පිතිකාරිණියන් යුගලය ලකුණු 98ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුණා.

ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිටි මන්දනා පන්දු 38කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැස්කොට සිටියදී දුවද්දී දැවී යාමට හසුවුණා. එම පන්දුවාරයේ මීළග පන්දුවේදී ශෆාලි වර්මා ලකුණු 43කදී දවාගැනීමට චමරි අතපත්තු සමත්වුණා.

ජෙමිමා රොඩ්රිගෝස් ලකුණු 16කට දැවී යද්දී නායකත්වයේ වගකීම ඉටුකළ හර්මන්ප්‍රීත් කෞර් පන්දු 27කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52ක් රැස්කිරීමට සමත් වුණා. ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 172ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙර තරග වලදී මෙන්ම දුර්වල පිතිකරණයක නියැලෙන ආකාරය දක්නට ලැබුණා. ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකාරිණියන් තිදෙනාව මුලු ලකුණු සංඛ්‍යාව 6ක් වන විට ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂිකාවන් බවට පත් කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුණා.

කවීෂා දිල්හාරි ලකුණු 21කින් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 20කින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවුවත් ජයග්‍රහණය සදහා එය කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 පන්දු 5ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අරුන්දතී රෙඩ්ඩි සහ ආශා සෝබනා ලකුණු 19කට කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුණා. මෙම පරාජයත් සමගින් ආසියානු ශූරියන්ට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවුණා.

Back To Top