නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරඟයේ වෙනසකමක්

[vc_row][vc_column][vc_column_text]

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ අවසන් තරඟය සඳහා අද දින ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟයේ ප්‍රතිඵලය කෙසේ විසඳුනත් මේ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ප්‍රධාන සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබාගෙන අවසන්. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුත් මේ වන විට නිමා වී තිබෙනවා. නමුත් මෙම තරඟය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව දෙසින් ගත්කළ වැදගත් කාරණයක්. මේ හේතුවෙන් තරඟයේ අවධානයට යොමුවිය යුතු කරුණු කිහිපයක් පවතිනවා.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වට වල පළමු තරඟ ද්විත්වයම ක්‍රීඩා කළේ අබුඩාබි හීදීයි. නමුත් මේ තරඟය අබුඩාබි වලින් ඔබ්බට ගමන් කරනවා. ඒ සාජා ක්‍රීඩාංගනයටයි. ඓතිහාසික ක්‍රීඩාංගනයක් වන සාජා ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවටද මතක රැසක් ඇති ක්‍රීඩාංගනයක් ලෙසින් නම් කරන්නට පුලුවන්. කෙසේ වුවත් අවසන් වුන IPL තරඟ කෙරෙහි අවධානය යොමු කරන විට සාජා ක්‍රීඩාංගනයේ තණතීරු අතිශය මන්දගාමී හැසිරීමක් පෙන්නුම් කළා. විශේෂයෙන්ම අවසන් IPL තරඟ වලදී ලකුණු 130, 140 සීමාව යනු ලබා ගැනීමට අතිශය අසීරු ලකුණු සංඛ්‍යාවක් බව පෙන්නුම් කෙරෙනවා.

ඒ වගේම සාජා තණතීරු වලදී දඟ පන්දු යවන්නන් වැඩි බලපෑමක් එල්ල කළත් අවශ්‍ය මොහොතවල් වලදී වේග පන්දු යවන්නන් ගෙන් ද විශාල සහායක් ලබාගත හැකි තණතීරු නිර්මාණය වී තිබෙන බවත් දත්ත නිරීක්ෂණයේදී පෙනී යනවා. මේ නිසාවෙන්ම අද තරඟයේ වැඩි වගකීමක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පැවරෙනවා. මන්දගාමී තණතීරුවක් තුළ ඉවසිලිවන්තව ක්‍රීඩා කිරීමට පිතිකරුවන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම තරඟාවලියේ මුල් තරඟ දෙකේදීම අසාර්ථක වූ ශ්‍රී ලංකා මුල්පෙළ අද දිනයේදී සුපිරි 12 වටයට ප්‍රථමව එම අඩුපාඩුව නිවැරදි කරගනිමින් අවශ්‍ය රිද්මයට එළඹීමේ අවසන් අභියෝගයට මුහුණ දෙනු ඇති.

සුපිරි 12 වටයේ මුල් තරඟය බොහෝ විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත වන නිසාත් එම තරඟයත් සාජා ක්‍රීඩාංගනයේදීම පැවැත්වීම නිසාත් එහි රිද්මය දිගටම පවත්වා ගැනීමට වනිඳ ක්‍රීඩා කරයිද යන්න අද දිනයේදී ප්‍රේක්ෂක ඔබට දැකගත හැකියි. නෙදර්ලන්තය දෙසින් බැලූ විට අත්දැකීම් බහුල ලොව වටා විස්සයි විස්ස ලීග් තරඟ ක්‍රීඩා කළ රයන් ටෙන්ඩස්කාටේ පිතිකරණ අංශයේ තීරණාත්මක සාධකය ලෙසින් හැඳින්විය හැකි වනවා.

ඔහුට අමතරව කලක් දකුණු අප්‍රිකාව නියෝජනය කළ රුලොෆ් වැන් ඩර් මර්ව්, වේග පන්දු යවන ක්‍රීඩක ටිම් වැන්ඩර් ගුග්ටන් මෙන්ම නායක පීටර් සීලර් කෙරෙහිද ශ්‍රී ලංකාව විශේෂ අවධානය යොමු කළ යුතුයි. කෙසේ වෙතත් මෙම තරඟයද ජයග්‍රහණය කරමින් අපරාජිතව ජයග්‍රාහී මානසික මට්ටමකින් යුක්තව අවසන් 12 වටය තෙක් ගමන් කිරීම ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් වනු ඇති. ඒ වගේම මුල්පෙළ පිතිකරුවන් තමන්ගේ සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය නිසාවෙන් එහි ප්‍රයෝජනය උපරිමයෙන් ගැනීමද සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා ගමන්මග කෙරෙහි තීරණාත්මක සාධකයක් වන බවට විශ්වාසය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මීට ප්‍රථමව 2014 ලෝක කුසලානයේ මූලික වටයේදී එකිනෙකා හමුවූ අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය රැස් කළේ ලකුණු 39ක් පමණයි. එය අදටත් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වනවා. ශ්‍රී ලංකාව එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 5ක් තුළදී සම්පූර්ණ කරගත්තා. වසර 7 කට පසුව අද දිනයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව එකිනෙක ගැටීමට නියමිතයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top