ශූරතා ශාපය නිමාකරගත් ශ්‍රී ලංකා ලෝක ශූරතා තරඟය!

[vc_row][vc_column][vc_column_text]

2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වූයේ බංග්ලාදේශය කේන්ද්‍ර කොටගෙනය. ඒ වන විටත් ශ්‍රී ලංකාව වසර 7ක කාලයක් තුළ ක්‍රිකට් ලෝක ශූරතා 4 ක අනුශූරතාවයෙන් සෑහිමකට පත්වී සිටියේය. ඒ 2007 සහ 2011 ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් ය. ශ්‍රී ලංකාව ඒ වන විට ලෝක කුසලාන අවසන් මහා තරඟ පරාජයන් ගෙන් හෙම්බත්ව සිටි කාලයක් උදා වී තිබුණා කිවහොත් නිවැරදිය. 2014 වර්ෂයේදීද ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ වසර 5ක් තුළ සුදුසුකම් ලැබූ තුන්වන විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟය ලෙසටය. ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම ප්‍රතිවාදීන් අතරින් අයෙක් වූ ඉන්දියාවයි.

තරඟාවලිය පුරාවටම අපරාජිත ලෙසින් ඉන්දියාව අවසන් මහා තරඟයට එක් වද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සමග පැවති තරඟය පමණක් පරාජයට පත් වී අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගෙන සිටියේය. තරඟයට පෙරාතුව වාර්තා වූ අදහස් වලින් බොහෝ දෙනාගේ මතය වූයේ මෙම තරඟය ඉන්දියාව විසින් ජයග්‍රහණය කරනු ඇති බවය. මද වර්ෂාවකින් අනතුරුව ඩකා හී ශෙයාර් බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ගේ තීරණය වූයේ පළමුවෙන්ම පන්දු යැවීමය.

මාලිංගගේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ රෝහිත් ශර්මා ට සහ අජින්කයා රහනේට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ඉඩ ලබා දුන්නේ නැත. තරඟයේ ඔහු විසින් යොමු කළ දෙවනි පන්දුවාරයේදීම රහනේ කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 3 කට දැවී ගිය අතර ඉන්දීය ලකුණු පුවරුව 4-1 ක් ලෙසින් සටහන් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි තරඟාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දක්වා සිටි විරාට් කෝලි සහ රෝහිත් ශර්මා පිටියේ ස්ථාවර වෙමින් නැවත තරඟය ඉන්දියාව දෙසට නතුකර ගැනීමට සමත් වූයේය. ඔවුන් දෙදෙනා දෙවනි කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවයක් පැවැත්වූ අතරම ශර්මා ලකුණු 29 කට දැවී ගියේය. අනතුරුව පිටියේ එක්වූයේ කෝලි සමගින් යුවරාජ් සිං ය.

තරඟාවලිය පුරාවටම තමන් පවත්වා ගෙන ආ රිද්මය අවසන් මහා තරඟයේදීත් එලෙසම පවත්වා ගත් විරාට් කෝලි විසින් පිටියේ ස්ථාවර වෙමින් වේගවත් ලෙසින් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය. නමුත් මේ මොහොතේදී ඉන්දියාව කඩුලු අතැතිව සිටියත් ඔවුන්ට පෙරළා පීඩනය එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කටයුතු කළහ. මෙහි පළමු වෙඩි මුරය එල්ල කරන්නේ සචිත්‍ර සේනානායක සහ රංගන හේරත් විසින්ය. හේරත් තම පන්දුවාර 4දී එක් කඩුල්ලක් සමග ලකුණු 23ක් ප්‍රතිවාදීන් ට ලබාදුන් අතරම සචිත්‍ර සේනානායක කඩුලු ලබා නොගත්තත් තම පන්දුවාර 4 ලකුණු 22 කට යැවීමට සමත් විය. මේ පීඩනය දෙදෙරා යන්නේ ඉන්දීය අවසන් පන්දුවාර කිහිපය තුළදීය. අවසන් පන්දුවාර වලදී සුපිරි පන්දු යැවීමක් පෙන්නුම් කළ ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර විසින් එකල ක්‍රිකට් පිටියේ දරුණතම ප්‍රහාරකයෙක් වන යුවරාජ් සිං ව සම්පූර්ණයෙන්ම මෙල්ල කිරීමට සමත් වූහ.

යුවරාජ් 19 වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් දැවී යනවිට පන්දු 21 කට මුහුණ දී රැස් කළේ ලකුණු 11ක් පමණි. අනතුරුව ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම තරඟ අවසන් කරන්නෙක් වූ මහේන්ද්‍ර සිං දෝනි වද තමන්ගේ සීමාව තුළ තඹ ගැනීමට මාලිංග සහ කුලසේකර සමත් වූයේ ඉන්දීය අවසන් පන්දුවාර 4 ලකුණු 19 කට සීමා කරමිනුයි. කඩුලු 8ක් අතැතිව ප්‍රහාරකයන් ඇති තරම් සිටි ඉන්දියාව මෙලෙස ලකුණු 19 කට නවතාලීම අදටත් විස්සයි විස්ස පිටියේ වාර්තා වූ හොඳම අවසන් පන්දුවාර වල පන්දු යැවීමක් ලෙසින් සටහන් වී තිබේ. ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී යන විට කෝලි පන්දු 58 කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද සමගින් ලකුණු 77ක් රැස් කළ අතර ඉන්දීය ඉනිම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 130ක් ලෙසින් සටහන් වෙමින් නිමාවට පත්විය.

බැලූ බැල්මට ලකුණු 131ක් යනු අපහසු ඉලක්කයක් නොවේ. නමුත් ඉන්දියාවද තරඟය අතහැරීමට සූදානම් නොවූ බව පැහැදිලි වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාව ලකුණු 5 කට දවා ගැනීමත් සමගින්මය. අනතුරුව පිටියේ එක්වූ තම අවසන් විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කරන මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන් 2 වන කඩුල්ලට ලකුණු 36ක් එක් කළත් අවශ්‍යම මොහිතේදී කෝලිගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ ඩිල්ශාන් ව දවා ගැනීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වූයේය. ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩා වැදගත්ම පිතිකරණ සබඳතා යුගලය වූ සංගා මහේල සුසංයෝගය පිටියේ ස්ථාවර වීමට උත්සාහ කළත් මහේල ලකුණු 24 කට දවා ගැනීමට සුරේෂ් රයිනා සමත් විය. අනතුරුව පිටියට පිවිසි ළහිරු තිරිමාන්න අමිත් මිශ්රාගේ පන්දුවකින් ලකුණු 7 කට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 78-4ක් ලෙසින් සටහන් කරමිනි.

පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලැබූ තිසර පෙරේරා ඉන් අනතුරුව පිටියට පිවිසි අතර ඒ වන විට ශ්‍රී ලංකාවට තිබූ ඉලක්කය පන්දු 45 කදී ලකුණු 53 කි. මේ අවස්ථාවේදී තමන්ගේ අවසන් විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර විසින් තරඟාවලිය පුරාවටම අසාර්ථක වී සිටියත් අවසන් මහා තරඟයේදී තමන්ගේ අත්දැකීම් උපයෝගී කරගනිමින් ක්‍රීඩකයෙක් පීඩනය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න මනාවට පැහැදිලි කරන ඉනිමක් දියත් කළේය. සංගා එලෙස තමන්ගේ කඩුල්ල රැක ගනිමින් ආරක්ෂිත ලෙසින් ලකුණු රැස් කරද්දී අනෙක් අන්තයෙන් තිසර පෙරේරා විසින් වේගවත් ඉනිමක් දියත් කිරීම ආරම්භ කළේය. තරඟාවලිය පුරාවට මෙන්ම අවසන් මහා තරඟයේත් සාර්ථක වෙමින් සිටි අමිත් මිශ්රා හට යෝධ හයේ පහරවල් එල්ල කල තිසර විසින් නැවත වතාවක් ඉන්දියාව දෙසට පීඩනය එල්ල කරමින් සිටියේය.

මේ මොහොතේදී ඉන්දියාව ගත් එකඳු උපක්‍රමයක් වත් සාර්ථක නොවූ අතරම ශ්‍රී ලංකාව අපහසුවකින් තොරවම ජයග්‍රහණය වෙත ගමන් කරන බව දක්නට ලැබුණි. තරඟයේ 18 වන පන්දුවාරය යොමු කළ රවිචන්ද්‍රන් අශ්වින් විසින් යැවූ 5 වන පන්දුවට හයේ පහරක් එල්ල කළ තිසර පෙරේරා විසින් තවත් පන්දු 13ක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියේ එතෙක් ලෝක කුසලාන 4ක අමිහිරි මතක පිරි අවසන් තරඟ ශාපය නිමාකර දමමින් ය. පරිණතභාවයට මනා උදාහරණයක් පෙන්වූ කුමාර් සංගක්කාර විසින් තම අවසන් විස්සයි විස්ස ඉනිම සටහන් කළේ පන්දු 35 කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක්ද සමගින් නොදැවී ලකුණු 52ක් ලෙසටය. තරඟය ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක් ගෙනදෙමින් නිමා වූ අතර තරඟයේ වීරයා ලෙසින් කුමාර් සංගක්කාර සම්මානයට පාත්‍ර විය. මෙය ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ වඩාත් සොඳුරුතම මොහොත ලෙසින් අවිවාදයෙන්ම සැලකිය හැකිබව බොහෝ දෙනාගේ මතයයි.

තරඟ සාරාංශය

ඉන්දියාව 130-4 (20)
විරාට් කෝලි 77(58), රෝහිත් ශර්මා 29(26)
රංගන හේරත් 23/1, ඇන්ජලෝ මැතිව්ස් 25/1, නුවන් කුලසේකර 29/1

ශ්‍රී ලංකාව 134-4 (17.5)
කුමාර් සංගක්කාර 52(35)*, මහේල ජයවර්ධන 24(24), තිසර පෙරේරා 23(14)*
මෝහිත් ශර්මා 18/1, සුරේෂ් රයිනා 24/1

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top