LPL පස්වැන්නට ‘පවර් බ්ලාස්ට්‘ එක්වෙයි

ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත.

සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර 30 සීමාවට පිටතින් පන්දු රකින්නන් යෙදවිය හැක්කේ සිවු දෙනෙකු පමණක් වීමය. මෙය තරගයේ පළමු  පන්දුවාර 6 හෙවත් පළමු පවර් ප්ලේ අවස්ථාවට අමතරව යොදා ගැනීමට තීරණය වී ඇත්තේ තරගයේ තරගකාරීත්වය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට වැඩි ආශ්වාදයක් ලබාදීම අරමුණු කොට ගෙනය.

“වසරින් වසර දියුණුවට පත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව විශේෂාංගය යොදා ගැනීමට තීරණය කළේ තරගාවලියට වැඩි උද්යෝගයක් එක් කිරීම අරමුණු කර ගෙන“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි තරගාවල අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය. “මේ හරහා ක්‍රීඩා ලෝලීන් අතර විශාල උද්යෝගයක් ඇතිවනවා නොඅනුමානයි. ඒ වගේම තරග වදිනු ලබන කණ්ඩායම්ද මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා“ යැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Back To Top