LPL දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ජාතික පිලේ දොර ඇරෙයි

[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනාගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අවිශ්ක ප්‍රනන්දු, ජනිත් ලියනගේ සහ කමිල් මිශාරට කොවිඩි වෛරසය ආසාධනය වීම හේතුවෙන්ද වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කලන පෙරේරා ඉකුත්දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී තිබේ.

මෙම තත්ත්වය මත කණ්ඩායමට අලුතින් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවිය. ඒ අනුව මූලික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස්ට තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබන ධනංජය ද සිල්වා, බිරිඳගේ දරු ප්‍රසූතිය හේතුවෙන් පිතෘ නිවාඩු ලබා සිටින බැවින් ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට එක්වී සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉකුත්දා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍රවූ ජනිත් ලියනගේ ඇතුළත්ව සිටියද කොවිඩ් ආසාධනය වීම නිසා අවාසනාවන්ත ලෙස මෙම තරගාවලිය නියෝජනය කිරීම අහිමිවී තිබේ. දඹුල්ල ජයන්ට්ස් පිල නියෝජනය කරන ජනිත් ලියනගේ තරග 4 කදී අර්ධ ශතක 2 ක් සමඟ මුලු ලකුණු 108 ක් රැස් කර ගනිමින් නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

ජනිත්ගේ ස්ථානය සඳහා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10 කදී ලකුණු 327 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු කුසල් මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත්ව සිටියි. එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව තරග තහනමකට ලක් වුණු කුසල් මෙන්ඩිස් නැවතත් ජාතික කණ්ඩායමකට නම් කරන ලද පළමු තරගාවලිය ලෙසින් මෙම අවස්ථාව සනිටුහන් වෙයි.

මේ අතර ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වෙන් පන්දු යවන නුවන් තුෂාරවද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටියි. නුවන් තුෂාර නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරමින් තරග 8 කදී කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්වූවේය.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කමිල් මිශාර සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වූ චාමික ගුණසේකරවද සිම්බාබ්වේට එරෙහිව නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, දුෂ්මන්ත චමීර, චාමික ගුණසේකර.

අතිරේක ක්‍රීඩකයින් – අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අෂේන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු.

මූලික සංචිතයට ඇතුළත් වුණු එහෙත් තරගාවලිය නියෝජනය අහිමිවූ ක්‍රීඩකයින් –

කොවිඩ් අසාධනය වීම නිසා – අවිෂ්ක ප්‍රනාන්දු, කමිල් මිශාර, ජනිත් ලියනගේ

ශාරීරික යෝග්‍යතාවය අසමත්වීම නිසා – ළහිරු කුමාර, කලන පෙරේරා.

පීතෘ නිවාඩු – ධනංජය ද සිල්වා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top